Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

යළි සුනාමියක් ආවොත් ලංකාවට මොකක් වෙයිද?

|Mon, 15 October 2018|Security| Page Views : 4

අලුත් පුවත්
හිමාල අනතුරින් මළ 9 දෙනාගේ සිරුරු හමුවේ
වෙළඳ සැලක ගින්නක් !



ත්‍රිරෝද රථ ගාස්තු අද සිට ඉහළට
අනතුරකින් එකම පවුලේ තිදෙනකු මරුට
හංස බෝට්ටු සේවාව නතර කරන්නැයි නියෝගයක් !
 
ඉන්දුනීසියාවේ සුලවෙසි දූපතෙහි හටගත් බිහිසුණු භූමිකම්පාව නිසා හටගත් සුනාමිය ඉන්දුනීසියාව පමණක් නොව, කලාපයේ අන් රටවල් ද යළි සුනාමි බියකින් අළලවන්නට සමත් වූවාට සැක නැත. පූර්ව අනතුරු ඇඟවීමෙන් කියවුණාට වඩා හාත්පසින් ම වැඩි ව්‍යසනයක් එමගින් සිදු වීම ඊට හේතුවයි.

ජීවිත දහස්ගණනක් විනාශ කරමින් සිදු වූ එකී ව්‍යසනය පිළිබඳ ප්‍රමාණවත් අනතුරු ඇඟවීමක් සිදු නොවීමට හේතුව එරට ස්ථාපිත පූර්ව සුනාමි අනතුරු ඇඟවීම් පද්ධතිය නිසි ලෙස ක්‍රියා නොකිරීම බව පසුව වාර්තා විය.

සුනාමි අවදානමත් සමග ජීවත් වන කලාපීය රටකට එවැනි අනතුරු ඇඟවීමක් වැරදුණේ නම්, ඉන් දත්ත ලබා ගෙන පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරන අපි වැනි රටකට වන ඉරණම කෙබඳු වේදැයි ඊළඟට බොහෝ දෙනා කල්පනා කළහ.

එහෙත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරන්නේ, අපේ සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරන පද්ධතිය පිළිබඳව එවැනි සැකයක් තබා ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නොවන බවය. අපේ රටට බලපාන ආකාරයේ සුනාමි තත්ත්වයක් සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමේ නිසි බලධාරියා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවයි. ඉකුත් දෙදහස් හතරෙහි හටගැණුන බිහිසුණ සුනාමි විපතින් පසුව එම බලය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට පැවරිණි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊට අදාළ පණිවුඩ ජනතාවට ලබා දෙන්නේ ඒ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන අනාවැකි සැලකිල්ලට ගනිමිනි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සුනාමි තත්ත්වයක් සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරන්නේ, ඊට අදාළව ජාත්‍යන්තර වශයෙන් පවතින ආයතන හා සම්බන්ධීකරණයෙන්, ඔවුන් නිකුත් කරන අනාවැකි සැලකිල්ලට ගනිමිනි. මුහුදේ යම් තැනක සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකි ආකාරයේ භූකම්පනයක් සිදු වූ විට, ඒ සම්බන්ධයෙන් ඊට ආසන්න කලාපවලට පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සඳහා බලයලත් ආයතන ගණනාවක් වේ. ඒ අනුව මීට පෙර අවස්ථාවලදී අපේ රටට බලපාන ආකාරයේ එවැනි තත්ත්වයක් ඇති වූ කල, අපට ඒ සම්බන්ධ පූර්ව අනතුරු නිකුත් කරනු ලැබූයේ, ඉන්දියානු සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සහ පැසිෆික් සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසිනි. එහෙත් අද වන විට ඉන්දියානු කලාපයට අදාළව සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථාන තුනක් ඉන්දියාවේ, ඉන්දුනීසියාවේ සහ ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත කර ඇත. එබැවින් දැන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමේ දී සැලකිල්ලට ගන්නේ, එම ආයතන මගින් නිකුත් කරන අනාවැකි ය.

එහෙත් පසුගියදා ඉන්දුනීසියාවේ හටගත් සුනාමි තත්ත්වයෙන් පසුව අනාවරණය වූයේ, ඔවුන්ගේ අනතුරු ඇඟවීම වැරදීමට, ඊට අදාළ දත්ත ලබා ගැනීමට මුහුදේ පිහිටුවා ඇති බෝයා පද්ධතියේ පැවැති අඩුපාඩු ද බලපා ඇති බවකි. සුනාමියක ප්‍රබලත්වය සාමාන්‍යයෙන් දැනගන්නේ, මුහුදේ ස්ථානගත කර තිබෙන බෝයාවන් මගිනි. මුහුදු පත්‍ලේ ඇතිවන තත්ත්වයන් පිළිබඳව දත්ත සංවේදක හරහා ලබාගෙන කාලගුණ විද්‍යාඥයන්ට ලබා දෙන්නේ මෙම බෝයාවන්ය. දෙදහස් හතරේ සුනාමි ව්‍යසනයෙන් පසුව, මෙම බෝයාවන් විසිඑකක පද්ධතියක් විවිධ රටවලින් ඉන්දුනීසියාවට ලබා දී තිබුණේ, වඩා ආරක්ෂිත සුනාමි අනතුරු ඇඟවීමේ වැඩපිළිවෙළක් සකස් කර ගැනුමට ය. එරට මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ, පසුගිය දා සුනාමි අනතුරු සිදුවන විට, මෙම බෝයා පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක තත්ත්වයේ පැවැතී නැති බවය. මේ තත්ත්වය මත අනාගතයේ දිනෙක අපේ රටට ද බලපාන ආකාරයේ සුනාමි තත්ත්වයක් ඇති වුවහොත් ඉන්දුනීසියාවේ අනතුරු ඇඟවීම් තුළින් ක්‍රියාත්මක වන අප වැනි රටවලට එය කෙසේ බලපානු ඇතිදැයි යන්න ඊළඟට මතුවන ගැටලුව යි.

එහෙත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි අවධාරණය කළේ, එය අපේ රටට ගැටලුකාරී තත්ත්වයක් නොවන බව ය. “අපි එක් අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානයක් මත යැපෙන්නේ නැහැ. ඉන්දුනීසියාවෙන් වගේ ම ඉන්දියාව හා ඕස්ට්‍රේලියාවේ අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානවලින් ද අපි තොරතුරු ලබා ගන්නවා. අපිට ළඟින් ම තියෙන්නේ ඉන්දියානු අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය. ඒ නිසා ඉන්දුනීසියාවෙ බෝයා පද්ධතිය අක්‍රිය වීම අපිට එතරම් බලපාන්නේ නැහැ.” ඔහු පවසන්නේ ය. ඔහු පවසන පරිදි ඕස්ට්‍රේලියාවේ පිහිටා ඇති සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරන මධ්‍යස්ථානයෙන් රටවල් විසි අටක් සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලබයි. එමෙන් ම ඉන්දියාවේ අනතුරු ඇඟවීම් මධ්‍යස්ථනාය ද ඉතා හොඳ මට්ටමේ අනතුරු ඇඟවීම් පද්ධතියකින් සමන්විත මධ්‍යස්ථානයකි.

අනෙක් අතට ඔහු පෙන්වා දෙන්නේ, ඉන්දුනීසියානු සුනාමි අනතුර ද ඉතා අස්වාභාවික සිද්ධියක් බවය. එනම් සාමාන්‍යයෙන් මුහුදේ භූකම්පනයක් හටගන්නේ භූ තලවල ය. එබැවින් බෝයා පද්ධති ස්ථාපිත කර ඇත්තේ ද එවැනි භූ තල මායිම් ආශ්‍රිතව ය. එහෙත් මෙවර සුනාමි තත්ත්වය හටගත් භූ කම්පනය සිදුවී තිබුණේ, ඊට කිසිසේත් අදාළ නොවන ගොඩබිමට ඉතා ආසන්න ප්‍රදේශයක ය. එමෙන් ම නිසි අනතුරු ඇඟවීම් සඳහා තොරතුරු ලබා ගතයුතු වන්නේ, කුමන බෝයාවකින් ද යන්නත් ඔවුන් විසින් නිසිපරිදි හඳුනාගෙන නොතිබුණ බවක් පෙනෙන්නේ යැයි ප්‍රදීප් කොඩිප්පිලි පවසන්නේ ය.

එමෙන් ම ඔහු පෙන්වා දෙන්නේ, පූර්ව අනතුරු ඇඟවීම් ජනතාව වෙත ලබා දීම සඳහා රට තුළ වන ක්‍රමවේදය ද ඉතා සක්‍රීය මට්ටමේ පවතින බවය. අපේ අනතුරු ඇඟවීම් ජනතාව වෙත ලබා දීම සඳහා ක්‍රමවේද කිහිපයක් අනුගමනය කරනු ලබයි. එනම්, වෙරළබඩ කලාප ආශ්‍රිතව ස්ථාපිත කර ඇති පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමේ කුලුනු මගින් මෙන් ම, කෙටි පණිවුඩ හා ජනමාධ්‍ය ඔස්සේත්, ත්‍රිවිධ හමුදාව සහ ‍පොලීසිය මගිනුත්, එම අනතුරු ඇඟවීම් ජනතාව වෙත ලබා දීමට කටයුතු කරයි. එමනිසා එක් මගක අවහිර වුව ද, තවත් ක්‍රමයක් ඔස්සේ ජනතාව වෙත තොරතුරු ලබා දීමට හැකි වන පරිදි අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය ශක්තිමත් බව ප්‍රදීප් කොඩිප්පිලි අවධාරණය කරන්නේ ය.

“ඒ වගේ ම පූර්ව අනතුරු ඇඟවීමේ කුලුනු වෙරළබඩ ආශ්‍රිත සියලු දිස්ත්‍රික්කවල පිහිටලා තියෙනවා මෙන්ම ඒවායේ ක්‍රියාකාරීත්වය ෙදෙනිකව පරීක්ෂාවට ලක් කෙරෙනවා. ඒ නිසා එහි යම් දෝෂයක් තිබුණොත් අපට ඉක්මනින් දැන ගැනීමට හැකියාව ලැබෙනවා.” ඔහු පෙන්වා දෙන්නේ ය.

එමෙන් ම ඔහු පවසන පරිදි, මෙම කුලුනුවල නඩත්තු කටයුතු ඉදිරි වසර පහකට බලපාන පරිදි තාක්ෂණික විශේෂඥ ආයතනයක් වෙත පවරා ඇති අතර ඔවුන් දිවයින පුරා ඇති කුලුනු සියල්ලෙහි තත්ත්වය නිරන්තරව පරීක්ෂා කරමින් සිටියි. ඊට අමතරව වසරකට පුහුණු වැඩ සටහන් එකසිය පනහකට වැඩි සංඛ්‍යාවක් දිවයින පුරා පැවැත්වෙන අතර, සුනාමි අනතුරු ඇඟවීමකදී ක්‍රියාකළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව එහිදී ජනතාව දැනුම්වත් කෙරෙයි.

“අපි අනතුරු ඇඟවීම් නිකුත් කිරීම් සම්බන්ධයෙන් ඉතා හොඳ තත්ත්වයක මේ වන විට පසුවෙනවා. නිතරම මගහැරිය හැකි සුළු කාරණයක් පිළිබඳව පවා අපි අවධානය යොමු කරමින් ඉන්නෙ.”

ඔහු පෙන්වා දෙන්නේ, ඊට හොඳම උදාහරණය ඉකුත් දෙදහස් දොළහ වසරේ ඇති වූ ප්‍රබල භූකම්පන තත්ත්වය බවයි. එහිදී සුනාමි අනතුරක් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණ අතර, ඒ අවස්ථාවේදී වෙරළබඩ කලාපයේ සියලු ජනතාව කඩිනමින් එම ස්ථානවලින් ඉවත් කර ගැනීමට හැකියාව ලැබුණ බව ඔහු පවසන්නේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න