කොදෙව්වන්ට ඉනිමක සහ ලකුණු 217ක ජයක්
2026 June 29- Page Views : 6
ඇන්ටිගුවා හි නෝර්ත් සවුන්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරදා ඉනිමක සහ ලකුණු 217ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. ඒ තරගයේ 4 වැනි දිනයේදීය.
ශ්‍රී ලංකා පළමු ඉනිමේ ලකුණු 308ට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 626ක් ලබා සිටියදී තම පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 318ක දැවැන්ත පළමු ඉනිමේ වාසියක් ලබා ගත්තේය. කෙසේ වෙතත්, ලකුණු 318ක අභියෝගයක් සමඟින් දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 101ක් පමණි.
මෙම තරගයේ සුවිශේෂීම අවස්ථාව වූයේ කොදෙව් ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් අමීර් ජැංගු සහ නායක රොස්ටන් චේස් අතර ගොඩනැඟුණු ලකුණු 401ක අතිවිශිෂ්ට සබඳතාවයයි. මෙය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 6 වැනි කඩුල්ල සඳහා පැවැත්වූ ඉහළම සබඳතාවය ලෙස වාර්තා පොත් අතරට එක් විය. මීට වසර 10කට පෙර දකුණු අප්‍රිකාවට එරෙහිව එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් සහ ජොනි බෙයාර්ස්ටෝ තබා තිබූ ලකුණු 399ක වාර්තාව මෙහිදී බිඳ වැටුණි.
තම දෙවැනි ටෙස්ට් තරගයට පමණක් ක්‍රීඩා කළ ජැංගු, පන්දු 342කින් ද්විත්ව ශතකය සපුරාලමින් ලකුණු 233ක් රැස් කළේය. නායක රොස්ටන් චේස් ලකුණු 194ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස ද්විත්ව ශතකය අහිමි කරගනිමින් දැවී ගියේය.
දෙවැනි ඉනිමේදී කොදෙව් පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නොහැකි විය. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 43ක් ලබාගත් දිනේෂ් චන්දිමාල්ය. පැතුම් නිස්සංක පළමු ඉනිමේදී ලකුණු 2කට සහ දෙවැනි ඉනිමේදී ලකුණු 3කට දැවී යමින් අසාර්ථක විය.
පන්දු යැවීමේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් කෙමාරු රෝච් ලකුණු 51කට කඩුලු 4ක් සහ ජේඩන් සීල්ස් ලකුණු 14කට කඩුලු 3ක් බිඳ හෙලූහ.
තණතීරුව පිතිකරුවන්ට වාසිදායක තත්ත්වයක පැවතීම සහ ප්‍රධාන වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදු විය. කෙසේ වෙතත්, තම 6 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ මිලන් රත්නායක ලකුණු 124කට කඩුලු 5ක් දවාගනිමින් ඔහුගේ පළමු ටෙස්ට් කඩුලු 5 සීමාව පසු කළේය. සෝනල් දිනුෂ ඕවර 56ක් පන්දු යවමින් ලකුණු 234කට කඩුලු 2ක් ලබා ගත්තේය.