WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

2026 April 09- Page Views : 5

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ජනපති ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ. 

මහා සංඝ රත්නයේ ආශිර්වාදය සමඟ ඇරඹි හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයයේ දී ගොවීන් මහත් භක්තියෙන් යුතුව සකසා සිය පළමු අස්වැන්න බුදුන් වෙනුවෙන් පුජා කරනු ලැබේ.

මෙම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, අපගේ සංස්කෘතියේ විශාලතම කොටස බවට කෘෂිකර්මාන්තය බැඳී ඇති බවය.

අලුත් සහල් මංගල්‍යය එහි අග්‍රඵලය වන බවද සඳහන් කර සිටි ජනාධිපතිවරයා, රටේ අනන්‍යතාවය සහ සංස්කෘතිය මේ තුළින් පිළිහිඹු කරන බවද පැවසීය.

ග්‍රාමීය ජනතාවගේ දුප්පත්කම තුරන් කිරීම තම අභිප්‍රාය බවත් ඒ සඳහා ශක්තිමත් දැක්මක් හා වැඩපිළිවෙලක් අවශ්‍ය බවද අවධාරණය කළ ජනාධිපතිවරයා, ගොවීන්ගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමට නිරවුල් ඔප්පුවක් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරමින් ඇති බවද සඳහන් කළේය. 

ලෝකයට තිරසර සංවර්ධනය පිළිබඳ ලබාදිය හැකි හොඳම උදාහරණය වැව බවද පැවසු ජනාධිපතිවරයා, වර්තමානයේ දී ජනතාව විසින් එම වැව් පද්ධතිය විනාශයට පත්කර ඇතැයි ද පැවසීය.

ඒ නිසා යළි මෙරට සුළු හා මධ්‍ය පරිමාණ වැව් පද්ධතිය ප්‍රතිසන්ධානය කිරීමට අමාත්‍යවරයා ප්‍රමුඛ රජය තීන්දුවක් ගෙන ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා, එය ක්‍රියාවට නැංවීමේ දී යම් යම් ගැටුම් හා විවේචනයන් එල්ල විය හැකි බවද කියා සිටියේය.

වර්තමාන පරපුරේ වගකීම වන්නේ, වැව් පද්ධතිය ආරක්ෂා කිරීම බවද අවධාරණය කර සිටි ජනාධිපතිවරයා, ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය ගනු ලබන සෑම තීරණයකටම ජනාධිපතිවරයා ලෙස තමා ආරක්ෂාව ලබාදෙන බවද පැවසීය.

උතුරුමැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය යටතේ මොරගහකන්ද කළු ගඟ ජලාශය හරහා උතුරු මැද පළාතට ජලය ගෙනයනු ලබන ව්‍යාපෘතිය ආරම්භ කර ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා, එම ව්‍යාපෘතියේ ගැටලු තිබුණද එය ඉතා ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද මෙහිදී සඳහන් කළේය.  

ගොවීන්ට දෙන පොහොර සහනාධාරය ගැන ජනපතිගෙන් යළිත් සහතිකයක්

කාබනික සහ රසායනික සම්මිශ්‍රණය තුළින් කෘෂිකර්මාන්තයට වඩාත් වැඩි ඵලදායිතාවයක් ලබාදෙන බවද පැවසු ජනාධිපතිවරයා, ඒ තුළින් වගා භූමියේ අස්වැන්න වැඩි කිරීමට එය පිටුවහලක් වන බවද කියා සිටියේය.

ලෝක වෙළෙඳපොළේ යුරියා මිල කොපමණ ප්‍රමාණයකින් ඉහළ ගියද යල කන්නය සඳහා රු 10,200ක උපරිමයකට යටත්ව පොහොර ලබාදෙන්න තීරණය කළ බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙරටට අලුතින් පැමිණි නැවේ පොහොර මිටියක් රු 14,000ක් - 15,000ක් බවද අවධාරණය කළ ජනාධිපතිවරයා, එම වියදම ආණ්ඩුව විසින් දරාගෙන ‌ගොවි ජනතාව වෙනුවෙන් මෙම පොහොර සහනාධාරය ලබාදෙන බවද කියා සිටියේය.

පොහොර සහනාධාරය 5,000කින් සහ එලවළු වගාවට ලබාදෙන සහනාධාරය රු 3,000කින් වැඩි කිරීමට තීරණය කළ බවද පැවසු ජනාධිපතිවරයා, ගම්මාන මට්ටමින් අලුත් පරම්පරාව වෙනුවෙන් නව තාක්ෂණික ක්‍රමවේද කෘෂිකර්මානය උදෙසා යොදා ගැනීමට වැඩපිළිවෙලක් සකස් කරන බවද මෙහිදී සඳහන් කළේය.

මේ අතර අස්වැන්න නාස්ති නොකර පරිහරණය කිරීම ඉතා වැදගත් බවද අවධාරණය කළ ජනාධිපතිවරයා වර්තමානයේ සාගතයක් ඒම වළක්වා ගෙන ඇත්තේ, පර්යේෂණ හරහා අස්වනු විනාශය වළක්වා ගැනීමට නිලධාරීන් සිදුකළ මෙහෙවර නිසා බවද පැවසීය.

කේෂේත්‍ර 7ක් කේන්ද්‍ර කරගනිමින් ගොවි ජනතාවගේ ජීවිත උසස් කිරීමේ අරමුණින් සහ කෘෂිකර්මාන්තය වර්ධනය කිරීම උදෙසා කටයුතු කර ඇතැයි පැවසූ ජනාධිපතිවරයා, එය රජයේ මුලික අරමුණ බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.