ඉරාන විදේශ ඇමති ඉස්ලාමාබාද් නුවරට
2026 April 25- Page Views : 6
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි ඊයේ (24) රාත්‍රියේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර වෙත පැමිණ තිබේ.
අමෙරිකාව සමග සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා වන යෝජනා සාකච්ඡා කිරීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇති බව වාර්තා වේ.
මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, අමෙරිකාවේ ඉල්ලීම් සපුරාලීම ඉලක්ක කරගත් යෝජනාවක් ඉරානය ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවය.
කෙසේ නමුත් එම යෝජනාවේ අඩංගු කරණු තමා තවමත් නොදන්නා බවද හෙතෙම පවසා තිබේ.
මේ අතර ඉරාන විදේශ අමාත්‍යවරයාගේ පාකිස්තානු සංචාරය සම්බන්ධයෙන්, ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා 'X' සටහනක් මගින් පවසා ඇත්තේ, අමෙරිකානු නියෝජිතයන් හමුවීමට සැලසුම් කර නොමැති බවය.
කෙසේ නමුත් එම ප්‍රකාශයට පෙර අමෙරිකාව පවසා තිබුණේ, ඉරාන විදේශ අමාත්‍ය අරක්චි සමග සාකච්ඡා සඳහා අමෙරිකානු විශේෂ නියෝජිතයින් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් අද (25) උදෑසන පාකිස්තානය බලා පිටත්ව යන බවය.
එමෙන්ම දෙරට අතර පළමු වටයේ සාකච්ඡා සඳහා නායකත්වය දුන් අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ද පාකිස්තානයට යාමට සූදානම් බවත් වාර්තා වේ.