ශ්‍යාමාගේ මරණය ඝාතනයක් බව හෙළිවෙයි
2026 June 25- Page Views : 11
තෙල්දෙණිය ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස මියගිය අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියගේ මරණය ගෙල සිරකිරීමෙන් සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු කර තිබේ.
පසුගිය 17 වන දින තෙල්දෙණිය රෝහල ආසන්නයේ මෝටර් රථයක් තුළ තිබී 33 හැවිරිදි ශ්‍යාමා දර්ශනීගේ මළ සිරුර හමුවුයේ මුළු රටම කම්පනයට පත් කරමිනි.
මරණය පිළිබඳව ඇති වූ සැකය මත පොලීසිය විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබූ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඊයේ (24) අලුයම වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මඟින් ඇඟේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ හා කුඩා දරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වුණි.
යාපනය, චාවකච්චේරිය කයිතඩි ප්‍රදේශයේදී බස් රථයකින් ගමන් කරමින් සිටියදී ශම්‍යාගේ පෙම්වතා බව කියන මෙම සැකකාර 43 හැවිරිදි පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ වන 35 හැවිරිදි කොස්ගොල්ල හොරොම්බාව ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මේ අතර, අදාළ ප්‍රධාන සැකකරුට සැඟව සිටිම සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව මත 49 හැවිරිදි රජවැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ද නුවරඑළිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ඊයේ (24) රාත්‍රී නුවරඑළිය පොලිස් ස්ථානය වෙත භාර දී දුන්බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
ශ්‍යාමා වැලිගම ප්‍රදේශයේ පදිංචිකාරියක් වූ අතර, ඇය පසුගිය ජුනි මස 3 වන දින සිට ජුනි 16 වන දින දක්වා නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිට ඇති බවට අනාවරණය වුණි.
සැකකාර පෙම්වතා විසින් හෝටල් කාමරයේ සිට ශම්‍යාගේ සිරුර ඔසවාගෙන යන CCTV දර්ශන පෙළක් ද මාධ්‍යයට නිකුත් වී තිබුණ අතර, ඒ සම්බන්ධයෙන් ද පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලැබීය.
දින 7ක් පුරා සැකකරු සෙවීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහාය ඇතිව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මෙලෙස සැකකරුව කොටුකර ගැනීමට හැකිවුණි.
කෙසේවෙතත් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා තිබුණේ, තමා ශ්‍යාමා නැවතී සිටි කාමරයට යන විට ඇය ගෙල වැලලාගෙන සිටි බවත්, බියට පත්ව සිරුර මෝටර් රථයේ දමා තෙල්දෙණියට රැගෙන ආ බවත් ය.