මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර තබාගත් 4,672කට එරෙහිව නීතිමය පියවර
2026 July 18- Page Views : 11
2026 ජනවාරි සිට ගතවූ ජුනි මාසය දක්වා වූ කාලය තුළ මදුරුවන් බෝවීමට හිතකර තත්ත්වයන් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් අධිකරණයන්හි නඩු 4,672ක් පැවරීමට කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.
නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේ, ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්තවන තත්ත්වය මැඩපැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති බවය.
මදුරුවන් බෝවන ස්ථාන පැවතීම හෝ බෝවීමට ඉඩකඩ ඇති පරිදි පරිශ්‍රය අපිරිසිදුව තබා ගන්නා පුද්ගලයන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 262 වන වගන්තිය ප්‍රකාරව අධිකරණයේ නඩු පැවරීමට හැකි බව නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
තවද 2007 අංක 11 දරන මදුරුවන් බෝවීම වැළැක්වීමේ පනත ප්‍රකාරව, යම් පරිශ්‍රයක මදුරුවන් බෝවන ස්ථාන පැවතීම හෝ බෝවීමට ඉඩකඩ ඇති පරිදි එම පරිශ්‍රය අපිරිසිදුව තබා ගැනීම සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කිරීමට සෞඛ්‍ය අංශ වෙත නීතිමය බලය ඇති බව පොලීසිය පවසයි.
ඒ අනුව රතු නිවේදනය පැහැර හරිමින් යම් තැනැත්තෙකු එම රතු නිවේදනයෙහි සඳහන් උපදෙස් නියමිත කාලය තුල ඉටු නොකිරීම එම පනතේ 06 වන වගන්තිය අනුව රුපියල් 25,000ක උපරිම දඩයකින් දඬුවම් ලැබිය හැකි වරදක් බව නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.