වත්මන් රජයේ ආර්ථික සහ සමාජයීය ගමන්මඟ වන්නේ ග්‍රාමීය ජනතාව නගරවලට කැඳවීම නොව, ගම තුළ ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම සහ පහසුකම් ලබා දීම බවජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ගම සහ නගරය අතර ඉතා දියුණු මාර්ග පද්ධතියක්, හොඳ සන්නිවේදන පද්ධතියක්, කාර්යක්ෂම සහ ශක්තිමත් රාජ්‍ය සේවාවක් ස්ථාපිත කිරීම අරමුණ බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණිය සඳහා සුදුසුකම් ලැබූ නිලධාරීන් 1,540 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අරලියගහ මන්දිරයේදී එක් වෙමිනි.

වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවයට ඉතා ගෞරව කරන ආණ්ඩුවක් මෙන්ම රාජ්‍ය සේවය යහපත් වැටුප් තලයක පිහිටුවිය යුතු බව අපේක්ෂා කරන ආණ්ඩුවක් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉතා අසීරුතම තත්ත්වයක් හමුවේ වුවද මූලික වැටුප් වැඩි කිරීමට සහ දීමනා වැඩිකිරීමට කටයුතු කළේ එබැවින් බවද පැවසීය.

නව ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, ප්‍රථම වතාවට ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණිය සඳහා තේරී පත් වූ නිලධාරීන් 1,540 දෙනෙකු සඳහා මෙලෙස පත්වීම් ප්‍රදානය කෙරුණු අතර, විභාග ප්‍රතිඵල සහ සම්මුඛ පරීක්ෂණවල කුසලතාවයන් පමණක් සැලකිල්ලට ගනිමින් සුදුස්සන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ප්‍රතිපත්තියට අනුව මෙම බඳවා ගැනීම් සිදු කර තිබීම විශේෂත්වයකි.