ශ්‍රීලන්කන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ පද්ධතිවලට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට පල වු වාර්තා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහන් කළේ පසුගිය ජූනි 29 වන දින ශ්‍රීලන්කන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ පද්ධතියට හැකර් ප්‍රහාරයක් එල්ල වූ බවට වාර්තා වූ සැණින්, ඊට අදාළ විමර්ශන, තාක්ෂණික ඇගයීම් කිරීම් සහ පූර්වාරක්ෂක පියවර ක්‍රියාත්මක කළ බවයි. ඒ අනුව, ගුවන් සේවයේ අභ්‍යන්තර තොරතුරු තාක්ෂණ පද්ධතියට හෝ මෙහෙයුම් පද්ධතිවලට අනවසරයෙන් ඇතුළුවීමක්, තොරතුරුවලට හානි සිදුවීමක්, දත්ත අනවසරයෙන් ලබාගැනීමක්, ගුවන් සේවයේ සේවාවන්ට හෝ මෙහෙයුම් අඛණ්ඩතාවට බාධාවක් සිදුවී ඇති බවක් තහවුරු වී නොමැති බව සඳහන් වෙයි. එමෙන්ම විද්‍යුත් තැපැල් සේවාවන් ඇතුළුව සිය පද්ධති සහ සේවාවන් බාධාවකින් තොරව ක්‍රියාත්මක වූ බවත්, කිසිදු අවස්ථාවක ගුවන් සේවයේ මෙහෙයුම්වලට හෝ සේවාවේ පැවැත්මට බලපෑමක් සිදු නොවූ බවත් ශ්‍රීලන්කන් ගුවන් සේවය තහවුරු කර තිබේ. කිසිදු පාර්ශවයකින් බිට්කොයින්, අමෙරිකානු ඩොලර් හෝ වෙනත් කිසිදු අයුරකින් අල්ලස් ඉල්ලීමක් ලැබී නොමැති අතර, එවැනි ආකරයේ මුදලක් හෝ ගෙවීමක් සම්බන්ධයෙන් ද කිසිදු සාකච්ඡාවක් සිදුවී නොමැති බවද ශ්‍රීලන්කන් ගුවන් සේවය පවසයි. ඒ අනුව, සිය පද්ධති වෙත අනවසරයෙන් ඇතුළුවීමක් හෝ හැකර්වරුන්ගේ පාලනය යටතේ පවතින බවට කෙරෙන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.