වාහන සඳහා මාර්ග යෝග්‍යතා සහ ආරක්ෂණ සහතිකයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා හා විශ්ලේෂණ සිදු කරමින් පවතින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සහතිකය හඳුන්වාදීමේදී විශේෂයෙන්ම මගී ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිත කරන වාහන කෙරෙහි අවධානය යොමු කර තිබේ.

කෙසේ වෙතත්, මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ග යෝග්‍යතා උපායමාර්ගික කමිටුව මඟින් තවදුරටත් සාකච්ඡා සිදු කරමින් පවතින බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, සහතිකය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන දිනය, එය අනිවාර්ය වන වාහන වර්ග, වාහන ධාවනය කර ඇති කිලෝමීටර් ප්‍රමාණය හෝ වෙනත් නිර්ණායක, සහතිකය ලබාගැනීමේ ක්‍රියාපටිපාටිය මෙන්ම ඊට අදාළ නීතිමය හා පරිපාලනමය විධිවිධාන සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කර තීරණ ගැනීමට නියමිතය.

එබැවින්, මේ සම්බන්ධයෙන් අවසන් තීරණ සහ නිල උපදෙස් නිකුත් කරන තෙක් සහතිකය අනිවාර්ය කරන දිනය හෝ ඊට අදාළ කොන්දේසි පිළිබඳ තහවුරු නොකළ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

තහවුරු නොකළ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් මහජනතාව අනවශ්‍ය ලෙස කලබලයට පත්විය හැකි අතර, වැරදි අවබෝධයන් සහ අපහසුතා ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් නිවැරදි හා යාවත්කාලීන තොරතුරු ලබාගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල නිවේදන කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.