මෙරට සිට අන්තර්ජාලය හරහා ඔන්ලයින් මූල්‍ය වංචා සහ නීතිවිරෝධී ජාවාරම්වල නිරත වූ විදේශිකයන් පිරිසක් කොළඹ, මරදාන ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන  කාර්යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. මරදාන ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක් තුළ මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර, ඒ සඳහා සම්බන්ධ වූ විදේශිකයන් 21 දෙනෙකු මෙහිදී පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අතර, චීන ජාතිකයින් 12ක්, බංග්ලාදේශ ජාතිකයින් 6ක් සහ ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු සිටී. මෙම පිරිස විසින් අදාළ ගොඩනැගිල්ලේ සිට ක්‍රියාත්මක කළ ඔන්ලයින් ජාවාරම්වල ස්වභාවය සහ ඒවායේ ජාලය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පොලීසිය ආරම්භ කර තිබේ. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ මෙහෙවීමෙන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා ඇතුළු කණ්ඩායමක් සිදුකරයි.