විදේශ රැකියාවක් සඳහා සෞදි අරාබිය බලා පිටත්ව ගිය ශ්‍රී ලාංකික කාන්තාවක් වසර 14ක් තිස්සේ අතුරුදන්ව ඇති පුවතක් අඹන්පොල ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. මෙලෙස අතුරුදන්ව සිටින්නේ අඹන්පොල, සේරුගොඩ ප්‍රදේශයේ පදිංචි රාජපක්ෂලාගේ නිලූකා රාජපක්ෂ නමැති කාන්තාවයි. ලැබී ඇති තොරතුරු සහ ලේඛනවලට අනුව ඇය 2012 අප්‍රේල් 10 වැනිදා විදේශ රැකියාවක් සඳහා සෞදි අරාබිය බලා පිටත්ව ගොස් තිබේ. එලෙස විදේශගත වූ පසු ඇය පිළිබඳ කිසිදු නිශ්චිත තොරතුරක් වසර 14ක් පුරා ලැබී නොමැති බව ඇයගේ පවුලේ ඥාතීහු පවසති. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අවස්ථා කිහිපයකදී පැමිණිලි ඉදිරිපත් කර තිබේ. ඒ අනුව CD/183/2208 යන අංකය යටතේ 2022 අගෝස්තු 17 වැනිදා අදාළ පැමිණිල්ල ලියාපදිංචි කර ඇති බව ලේඛනවල සඳහන් වේ. එමෙන්ම 2023, 2024 යන වසරවලදී ද මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලිපි නිකුත් කර ඇති අතර, 2025 වසරේදී ජනාධිපති ලේකම් කාර්යාලය ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබේ. කෙසේ වෙතත්, වසර 14ක් තිස්සේ අතුරුදන්ව සිටින නිලූකා රාජපක්ෂට සිදුවූයේ කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඇය සොයා ගැනීමට සහාය වන ලෙස පවුලේ ඥාතීහු ඉල්ලීමක් කර සිටී.