රජයේ ආධාර මගින් ඉදිකරන ලද නව නිවාස 3,000ක් නොවැම්බර් 23 සිට 27 දක්වා දිවයින පුරා ජනතා අයිතියට පත් කිරීමේ ජාතික වැඩසටහන අද (23) ආරම්භ කෙරිණි. මෙම නිවාස ඉදිකරනු ලැබුවේ, නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කෙරෙන "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන යටතේ එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 10ක මූල්‍යාධාර සහ ප්‍රදේශවාසීන්ගේ ශ්‍රම දායකත්වය ඇතිවය. අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස ගැටලුව විසඳීම අරමුණු කරගනිමින් එම අමාත්‍යාංශය මඟින් පමණක් මේ වසර තුළ දිවයින පුරා නිවාස 12,000කට වැඩි සංඛ්‍යාවක් ඉදිකිරීමට පියවර ගෙන ඇත. එහි එක් අදියරක් ලෙස නොවැම්බර් 23 සිට 27 දක්වා සතිය තුළ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙලෙස නව නිවාස 3,000ක් ජනතාව වෙත භාරදීම සිදු කෙරේ.