මාතර - හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්
2026 May 29- Page Views : 17
2026 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මාතර තිහගොඩ පොලිස් වසමේ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය අවට මාර්ගවල අද (29) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.
අද සවස 5.00 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්වෙන සර්වඥ ධාතු පෙරහර හේතුවෙන් මාතර - හක්මණ මාර්ගයේ තිහගොඩ ජාතික පාසල අසල සිට මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය දක්වා මාර්ග කොටස තාවකාලිකව වසා තැබීමට නියමිතය.
පෙරහර තිහගොඩ ජාතික පාසල අසලින් ආරම්භ වී මාතර දෙසට ගමන් කරමින් මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය අසලින් අවසන් වීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.
විකල්ප මාර්ග :-
මාතර දෙස සිට මිද්දෙණිය, හක්මණ දෙසට ගමන් ගන්නා සියළුම වාහන දියගහ හන්දියෙන් අපරැක්ක හරහා යටියන දෙසට ගමන් කර මිද්දෙණිය හා හක්මණ දෙසට ගමන් කිරීමට හැකියාව ඇත.
මිද්දෙණිය, හක්මණ දෙස සිට මාතර දෙසට පැමිණෙන සියළුම වාහන යටියන, අපරැක්ක, දිය ගහ හන්දිය හරහා මාතර දෙසට ගමන්කල හැකිය.
දෙයියන්දර, කඹුරුපිටිය හරහා මාතර දෙසට ගමන් ගන්නා සියළුම වාහන කඹුරුපිටිය ගම් උදාව හන්දියෙන් හෝ තිහගොඩ පොලතුගොඩ පහළ විටියල, නාරංගල, කද්දුව, මාළිම්බඩ, අකරැස්ස මාර්ගය හරහා මාතර දෙසට ගමන්කල හැකිය.
මාර්ග වසා තබන කාලය තුළ රථවාහන රාජකාරියේ නිරත නිලධාරීන්ගේ උපදෙස් හා මගපෙන්වීම් අනුව කටයුතු කරන ලෙස පොලීසිය රියැදුරන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.