WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අධ්‍යාපන පද්ධතිය තුළ විසඳිය යුතු ප්‍රධාන අර්බුද පහක් අගමැතිනිය පෙන්වයි

2026 June 01- Page Views : 14

අසමානතා සහ කෘත්‍රිම බුද්ධිමය අභියෝගයන් ජය ගැනීම සඳහා විෂයමාලා සංශෝධනයට එහා ගිය ගැඹුරු ව්‍යුහාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.

කොළඹ රදගුරු දුෂන්ත රොද්‍රිගෝගේ ආරාධනයෙන් පසුගිය මැයි 30 වැනිදා Cathedral of Christ the Living Saviour දෙව්මැදුරේදී පැවති රදගුරු සිරිල් අබේනායක අනුස්මරණ දේශනයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

“21 වැනි සියවසේ ශ්‍රී ලංකාව සහ ඉන් ඔබ්බට අධ්‍යාපනයේ අනාගතය හැඩගැස්වීම” යන තේමාව යටතේ සිදු කළ දේශනයේදී අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ බහු ආගමික සහයෝගීතාව සහ සමාජ විවිධත්වය පිළිබඳව අවධාරණය කළාය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ ඓතිහාසික ගමන්මඟ පිළිබඳ අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය, 1971 ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්තාවක් උපුටා දක්වමින්, මෙරට පවතින “කුසලතා නොගැලපීම” සහ රාජ්‍ය අංශයේ රැකියා සඳහා ඇති “පෝලිම් සංසිද්ධිය” ආර්ථික අභියෝගවලට හේතු වී ඇති බව පෙන්වා දුන්නාය.

දශක ගණනාවක් පුරා STEM අධ්‍යාපනය සහ තාක්ෂණික කුසලතා සංවර්ධනයට ප්‍රමුඛත්වය දුන්නද, ව්‍යුහාත්මක ගැටලු විසඳීමට එම ප්‍රතිසංස්කරණවලට නොහැකි වී ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

නිදහස් අධ්‍යාපන ක්‍රියාවලියෙහි සැබෑ අරමුණ විය යුත්තේ ශ්‍රම බලකාය ගොඩනැගීම පමණක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් පවත්වාගෙන යා හැකි දේශපාලනිකව සවිඥානික, සදාචාරාත්මකව ස්ථාවර සහ විවේචනාත්මකව සිතන පුරවැසියන් බිහිකිරීම බව ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

අධ්‍යාපන පද්ධතිය තුළ විසඳිය යුතු ප්‍රධාන අර්බුද පහක් අග්‍රාමාත්‍යතුමිය විසින් මෙහිදී පෙන්වා දෙන ලදී. එනම්, අධ්‍යාපන ආයතන අතර පවතින පරතරය, සමාජ වගකීමෙන් යුතු පුරවැසියන් බිහිකිරීමේ අසමත්කම, කාන්තාවන්ගේ අධ්‍යාපනික ජයග්‍රහණ සහ ශ්‍රම බලකායට එක්වීමේ පරතරය, කෘත්‍රිම බුද්ධිය වැනි තාක්ෂණික වෙනස්කම්වලට අනුගත වීමේ අවශ්‍යතාව සහ අධ්‍යාපනය සහතික ලබාගැනීමේ මෙවලමක් ලෙස සැලකීමයි.

කෘත්‍රිම බුද්ධියට මුහුණ දීමට නම් ඩිජිටල් සාක්ෂරතාව සහ මාර්ගගත ආරක්ෂාව ශක්තිමත් කළ යුතු බවත් අගමැතිවරිය මෙහිදී අවධාරණය කළාය.

අධ්‍යාපනය යනු ලෝකය අවබෝධ කරගෙන එය පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියක් බවත්, ඒ සඳහා ගුරු වෘත්තිය නැවත සමාජ ගෞරවයට පාත්‍ර වූ උතුම් වෘත්තියක් ලෙස ස්ථාපිත කළ යුතු බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අවසාන අරමුණ වන්නේ සමාජයේ සෑම ක්ෂේත්‍රයකම ජනතාවට විශ්වාසය තැබිය හැකි නායකයන් බිහිකිරීම බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.