කෙළවරක් නැති අලි - මිනිස් ගැටුමේ තවත් එක් ප්‍රතිඵලයක් ලෙස මෙරට සිටි විශාලතම වන ඇතා කාවන්තිස්ස පසුගියදා  රැදුරු වෙඩි ප්‍රහාරයකින් මියැදිම කාගේත් කතා බහට ලක් වූ කාරණයක්. සාධාරණ පිළිතුරක් නොමැති  මේ ගැටුමේ යථාර්ථය කුමක්දැයි  විමසා බලමු.

“අලි මිනිස් ගැටුම දෙස බලන ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි සංචාරක කර්මාන්තයේ නියැලිලා ඉන්න අය,ඒ අයට අලි ගැන වටිනාකමක් තියෙනවා. මුදල් උපයන සම්පතක්. ඒ වගේම ඉහළ ආදායම් ලබන නාගරික ප්‍රදේශවල  ඉන්න අය අලියා දකින්නේ කලාතුරකින්, ඒ කියන්නේ අලි ජීවත් වෙන ප්‍රදේශවලින් බැහැරව ඉන්න අය අලින්ට කැමතියි. ඒ අයටත් අලි ගැන වටිනාකමක් තියෙනවා අලි දකින්න ආසයි. අලියා කියන්නේ ලෝකෙ හරි හිඟ සතෙක් නිසා. අලි ජීවත් වෙලා ඉන්නේ ලෝකෙ රටවල් කිහිපයක නිවර්තන කලාපීය රටක  ඝර්ම කලාපීය රටවල්වල විතරයි. මේ නිසා පිටරට සංචාරකයොත් , දේශීය සංචාරකයොත් අලින්ට හරිම කැමතියි අලි දකින්න ආසයි. කෙටියෙන් කීවොත් අලි ඉන්න ප්‍රදේශවල ජීවත් නොවෙන අය අලින්ට ආදරෙයි. නමුත් අලිත් එක්ක ජීවත් වෙන ප්‍රදේශවල අය මීට වැඩිය වෙනස්. ඒ අය තමයි  අලි මිනිස් ගැටුමට මැදිහත් වෙන්නෙ.  ඔය දෙගොල්ලොම ඇත්ත වශයෙන්ම ගත්තොත් අලින්ට හරි ආදරෙයි. මේ අලි මිනිස් ගැටුම තියෙන ප්‍රදේශවල මිනිස්සු වුණත් අලියෙක්ව මරන්න, අලියෙක්ව ඝාතනය කරන්න  කැමති නෑ. නමුත් අර බීලා යාළුවො ගහගත්තාමත් යාළුවො මැරෙනවනෙ. ඒ වගේ වෙලාවක අලි මුහුණට මුහුණ සටනකට ආවයින් පස්සෙ මේ තත්ත්වයම උදා වෙන්න පුළුවන්.  උදාහරණයක් ගත්තොත්  කාවන්තිස්ස ඇතාට වෙඩි වැදුනෙ කොතනදිද කියලා විග්‍රහයක් නෑ. කෙනෙකුට හිතාගන්න පුළුවන් කාවන්තිස්ස මේ නිදාගෙන ඉන්නකොට, එහෙම නැත්නම් ඇවිදගෙන යනකොට කාවන්තිස්සට වෙඩි තිබ්බා කියලා. සමහර වෙලාවට කාවන්තිස්ස මිනිහෙක් පස්සෙ පන්නන්න පුළුවන් හේනක, පැලක, එතකොට එයාට කරගන්න දෙයක් නැතිව, එයා වෙඩි තිබ්බා වෙන්න පුළුවන්. වෙඩි තියලා ගියාකියලා හිතමු, පස්සෙ තමයි අලියා මැරෙන්නෙ. එතකොට මෙන්න මේ අලි මිනිස් ගැටුමේ යථා ස්වභාවය තේරුම් ගන්නෙ නැතුව මිනිස්සු විවිධ ප්‍රකාශ නිකුත් කිරීම සහ මේ පිළිබඳ කිඹුල් කඳුළු හෙලීම මං හිතන්නෙ කිසිසේත්ම සාධාරණ නෑ.

අලින්ගේ කුසගින්නත් ගොවීන්ගේ කුසගින්නත් සමානයි අපි යාල පැත්තට ගියොත්, එහෙම නැත්නම් මින්නේරිය, ඊළඟට කවුඩුල්ල සහ වනාතවිල්ලුව පැත්තට ගියොත්, ඔය ප්‍රදේශවල මේ සංචාරක කර්මාන්තය පුළුල් වශයෙන් සිද්ධ වෙනවා. ඒ සංචාරක කර්මාන්තයේ නියුතු වෙන හෝටල් අයිතිකරුවෝ, සෆාරි වාහන තියෙන අය, රෙස්ටොරන්ට්ස් කරන අය, ට්‍රැවලින් ටිකට් ඒජන්සීස්, මේගොල්ලො ඔක්කොම මේ අලියා ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිරිපත් වෙනවා. ඒක හරි, මොකද, ඒගොල්ලො ජීවත් වෙන්නෙ ඒකෙන්. එතකොට ඒගොල්ලො අලියා ආරක්ෂා කරගන්නවා. කවුරුත් කැමති නෑ අලි පන්නන්න, අලින්ට වැටවල් ගහලා අලි හිර කරනවට ඒගොල්ලො කොහෙත්ම කැමති නෑ.  අලි මිනිස් ගැටුම විසඳන්න ගියාම ඔය ප්‍රශ්න එනවා. ඊළඟට  අලි කැලේ විතරක් නෙවෙයි, මෙයා ගම් හරහා ඇවිදගෙන යනකොට මිනිස්සුන්ගෙ වගා බිම් හමුවෙනවා.  උදාහරණයකට කෙනෙක් අක්කර තුනයි කරලා තියෙන්නෙ, අක්කර දෙකයි කරලා තියෙන්නෙ, නැත්නම් අක්කරයයි කරලා තියෙන්නෙ. එයා පවුලෙ පස් දෙනෙක්, හය දෙනෙක් ජීවත් කරන්න ඕන. ඒ පවුලෙ තාත්තා එහෙමත් නැත්නම් වෙනත් සාමාජිකයෙක් වකුගඩු රෝගයෙන් පෙළෙනවා. ඊට පස්සෙ ඒ මනුස්සයට බෙහෙත් ටික අරන් දෙන්න ඕන, ළමයට පොත්පත් ටික අරන් දෙන්න ඕන. එතකොට ජීවත් වෙන්නෙ මේහේන් ගොවිතැනින්. නමුත් සමහර වෙලාවට එක කන්නයක් අලින්ගෙන්ම විනාශ වෙලා යන්න පුළුවන්. , එක්කො වැස්ස නෑ. ස්වභාව ධර්මය මටක්ක්මේ ගොවියගෙ ඉරණම තීරණය වෙන්න පුළුවන්. එතකොට එහෙම අමාරුවෙන් ගොඩනගාගත්ත වට්ටක්කා හේනක්, බඩඉරිඟු හේනක්, එහෙම නැත්නම් වී වගාවක් අලි කීප දෙනෙක්, පනහක් හැටක් හරි, දහයක් පහළොවක් හරි, එකෙක් දෙන්නෙක් හරි ඇවිල්ලා කෙසෙල් වගාවක් විනාශ කරද්දි ඒ ඇතිවන හැඟීමත් අර ප්‍රමාණයටම තේරුම් ගන්න ඕන. එතකොට ඇතිවන වෛරය සහ කේන්තිය අලියා මරාගෙන කන සතෙක් නම් මරාගෙන මේ මිනිස්සු කනවා. ඒ තරම් තරහක් ඒ මිනිස්සුන්ට ඇතිවෙනවා. ඒක මේ නගරේ ඉන්න මිනිස්සුන්ටවත් සංචාරකයන්ටවත් ඒ කර්මාන්තයේ නියැලිලා ඉන්න අයටවත් දැනෙන්නේ නැහැ. තේරෙන්නෙත් නැහැ. එතකොට මේ ගැටුම දැන් සෑහෙන කාලයක් තිස්සේ, අවුරුදු හතළිහක් පනහක් තිස්සේ ක්‍රමානුකූලව වර්ධනය වෙලා ඇවිත්.

මේ ගැටලුවට හේතු ගණනාවක් කියනවා. සමහරු කියනවා අලි ගහනය වැඩි වුණා කියනවා. තවත් අය කියනවා මිනිස්සු මේ අලි ජීවත් වෙන ප්‍රදේශ අල්ලා ගත්තා කියලා. මීට පෙරත් ඉතිහාසය ගත්තත්, ශතවර්ෂාධික කාලයකට එහා ගත්තොත් මිනිස්සු කුඹුරුවල හේන් කළා, කැලෑවල හේන් කළා, ඔය විදිහට අලි-මිනිස් ගැටුම බරපතළ තත්ත්වයක් බවට පත්වෙලා තිබුණෙ නැහැ. දැන් මේ පාරිසරික බලපෑම, ඒ කියන්නේ climate change, දේශගුණ විපර්යාස කියන එක මිනිසුන්ට වගේම සත්තුන්ටත් බලපානවා. ඒගොල්ලන්ගෙ ශරීර උෂ්ණත්වය ඉහළ යනවා, ඒගොල්ලන්ගෙ heat circle එක, ඒ කියන්නෙ ඒගොල්ලන්ගෙ ප්‍රජනන කාලපරිච්ඡේදයන් සහ සිදුවීම් වෙනස් වෙනවා, වනාන්තර ඇතුළෙ ආහාර හිඟ වෙනවා. ඒ වගේ කාරණාත් එක්ක මේ අලිත් වෙනදාට වඩා යම් ප්‍රචණ්ඩකාරී හැසිරීමකට ලක්වෙනවා. මිනිස්සුත් තමන්ගෙ තාක්ෂණ හැකියාවන් පුළුල් කරගෙන තියෙනවා. අලින් පලවා හැරීම වෙනුවට අලින් ඝාතනය කිරීමට මිනිස්සුත් පෙළඹෙනවා. මොකද හේන් කුඹුරු තියෙන කාලෙ ඉස්සර අලියෙක් මරන්න තාක්ෂණයක් මිනිස්සු ළඟ තිබ්බෙ නැහැ. තුවක්කු තිබුණෙ නැහැ. එතකොට මිනිස්සු හීතල වලින්, හෙල්ල වලින් විදලා අලි මරන්න බැහැනෙ. ඒක හින්දා තමයි හෙන්ඩුවෙන් ගහලා අලි හීලෑ කරගත්තෙ. එතකොට ඒ විදිහට දැන් අපිට හක්කපටස් තියෙනවා, වෙඩි තියෙනවා. ඒකෙන් අලි පලවා හරිනවා වගේම අලි ඝාතනය කිරීමේ තාක්ෂණයකුත් දැන් මිනිස්සු අතරෙ දියුණු කරගෙන තියෙනවා.

ලංකාව ඇතුලේ අලි වැට, මෙරට වෙරළ තීරයටත් වඩා වැඩි වටප්‍රමාණයක් මේ කාරණා ටික සමථයකට පත්කරන්න පසුගිය රජයන් හෝ දැන් තියෙන රජයන් ගනු ලබන ක්‍රියාමාර්ග මොනවද බලන්න වෙනවා.මේ අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ගන්න ක්‍රියාමාර්ග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් පුද්ගලික වශයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සහ අනෙක රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග.  මේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අලි වැට ඉදිකරනවා. ඒක තමයි ලංකාවෙ  ජනප්‍රියම ක්‍රමය. අලි මේ වෙනකොට අලි වැට ගහලා තියෙනවා දිග කිලෝමීටර් 4800කට 5000කට එහා. සාමාන්‍යයෙන් ලංකාව වටා තුන් වතාවක් විතර මේ අලි වැට ගහන්න පුළුවන් size එකක්, ලංකාවෙ වෙරළ තීරයට වඩා වැඩි ප්‍රමාණයක් අලි වැට තියෙනවා ලංකාවෙ ඇතුළෙ. ඒත් අලි-මිනිස් ගැටුම නතර කරන්න බැහැ. ඒකට හේතුව අලින්ට ඕන කරන ආහාර සහ අලියාගෙ දිනචර්යාවට බලපෑම් ඇති කරලා අලියාව නවත්තන්න මිනිසුන්ට බැහැ. එයාට බඩගින්න ආවට පස්සෙ එයා ගන්න තීන්දු එයා ගන්නවා. එතකොට අපි මේකට දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ගන්නට ඕනෙ, අලින් නිශ්චිත ප්‍රදේශ වලට සීමා කරගන්න වෙනවා. අලින්ට අවශ්‍ය කරන ආහාර ටික සහ ජලය, සහ ජෛව විද්‍යාත්මක චර්යාවන් කරගන්න ඉඩ සැලසෙන විදිහට මේ කළමනාකරණය කළ යුතුයි. අපේ  තියෙන සෑම අලි-මිනිස් ගැටුම වළක්වන ක්‍රමෝපායක්ම තියෙන්නෙ, අලියාගෙ ආහාර සීමා කිරීමෙන් හෝ අලියාගෙ චර්යා රටාවන් නතර කිරීමෙන් හෝ බාධා කිරීමෙන් අලියාව පාලනය කිරීමයි. එතකොට මෙන්න මේ කාරණා සියල්ලම එකතු කරගත්තොත් මේ අර්බුදය තව තවත් දුරට යනවා. ඉතින් මේක නතර වෙන පාටක් හෝ නතර කරන්න පේන තෙක් මානයක ගත්ත විද්‍යාත්මක ක්‍රියාවලියක් නැහැ. අලි-මිනිස් ගැටුම වළක්වන්න අලි වැටට බැරි බව දැන්වත් අපට වැටහෙන්න ඕනෙ.