2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ ඉදිරිපත් කළ යෝජනාව සහ 2026 වසරට අදාළ අංක 06 දරන පරිපූරක ඇස්තමේන්තුව (ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා වන ණය යෝජනා ක්‍රමය) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමත කරන ලදී. පොරොත්තු ලේඛනයේ සිටින ණය අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව ලබා දෙමින් මෙම ණය ලබාදීම සිදුකරන බවද අදාළ නිලධාරීන් ප්‍රකාශ කර තිබේ. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (20) රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡාවට ලක් විය. මෙම කාරක සභා රැස්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම අදාළ රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද සහභාගී වී ඇත. මෙහිදී රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුත් සහ විධිමත් ක්‍රමවේදයක් බවට පත් කිරීම සඳහා ගෙන ඇති පියවර සහ නව ප්‍රසම්පාදන පනතක් සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හා චක්‍රලේඛ බලාත්මක කිරීම සහ සමස්ත ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා සකස් කෙරෙන නව ප්‍රසම්පාදන පනතේ ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරිණි. පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල කිරීම, අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල අදහස් ලබාගැනීමේදී සිදුවන ප්‍රමාදයන් මෙන්ම කෙටුම්පත සංශෝධනය කිරීමේදී මතුවූ ගැටලු පිළිබඳව ද අවධානය යොමු විය. රාජ්‍ය ප්‍රසම්පාදන කටයුතු ඩිජිටල්කරණය කිරීම සඳහා ක්‍රියාත්මක PROMIS (Procurement Management Information System) පද්ධතිය පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය. දැනට අමාත්‍යාංශ 19ක් ඇතුළුව සක්‍රීය ප්‍රසම්පාදන ඒකක 394ක් ආවරණය වන මෙම පද්ධතිය, 2027 වසර වන විට පළාත් සභා සහ සියලුම රාජ්‍ය දෙපාර්තමේන්තු ඇතුළත් වන පරිදි ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. මෙම පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 4.5ක ප්‍රදානයක් හිමිවන අතර, නව සංවර්ධකයෙකු තෝරාගැනීමේ තාක්ෂණික ඇගයීම් අවසන් කර ලෝක බැංකු අනුමැතිය සඳහා යොමු කර තිබේ. ප්‍රසම්පාදන කටයුතුවලදී මතුවන ප්‍රමාදයන්, ලියාපදිංචි කිරීමේ ගැටලු සහ ඩිජිටල් පද්ධති අභියෝග මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, විශේෂයෙන්ම ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ සහ ඖෂධ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් අවම කර වෙළෙඳපොළ තරගකාරීත්වය වැඩිදියුණු කිරීමේ දැඩි අවශ්‍යතාව කාරක සභාව විසින් අවධාරණය කරන ලදී. ප්‍රසම්පාදන කමිටුවල මූල්‍ය සීමාවන් ඉහළ නැංවීම, නැවත නැවත සිදුකරන මිලදී ගැනීම් සඳහා දිගුකාලීන රාමුගත ගිවිසුම් ක්‍රමවේදය හඳුන්වාදීම සහ ක්ෂේත්‍රයට විශේෂිත වූ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සකස් කිරීම සම්බන්ධයෙන් ද කරුණු ඉදිරිපත් විය.