ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාමක් සිදු නොවනු ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, මේ වන විට වෙළඳපොළේ කුකුළු මස් අතිරික්තයක් පැවතීම හේතුවෙන් මිල ගණන් පහත වැටී ඇති බවය.
රටේ පවතින කුකුළු මස් ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් තරම් නිෂ්පාදනයක් පවතින බවත්, අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් වෙළඳපොළට සැපයීමේ හැකියාව පවතින බවත් ඔහු පැවසීය.
දෙසැම්බර් මාසයේදී උත්සව සමය හේතුවෙන් කුකුළු මස් සඳහා ඉල්ලුම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළද, ඒ සඳහා ප්‍රමාණවත් ශීත කළ කුකුළු මස් තොග පවතින බැවින් මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාමක් අපේක්ෂා නොකරන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, වෙළඳපොළේ බිත්තර මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අජිත් ගුණසේකර මහතා පැවසුවේ, බිත්තර සඳහා පවතින ඉල්ලුම ඉහළ යාමත් සමඟ නිෂ්පාදනය අඩුවීම මිල ඉහළ යාමට බලපා ඇති බවය.
සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා භාවිත කරන බඩඉරිඟු හිඟවීම හේතුවෙන් ඒ වෙනුවට සහල් භාවිත කිරීමට සිදුව ඇති බවත්, එම වෙනස්කම නිසා බිත්තර නිෂ්පාදනය යම් ප්‍රමාණයකින් අඩු වී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම, කුකුළු ගොවිපළ ආශ්‍රිතව වෛරස් රෝග කිහිපයක් පැතිරීමද බිත්තර නිෂ්පාදනය පහත වැටීමට බලපා ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.
ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ මේ වන විට බිත්තරයක් රුපියල් 39ත් 40ත් අතර මිලකට අලෙවි වන බවය.
ඉදිරියේදී බිත්තර මිල තීරණය වන්නේ වෙළඳපොළේ පවතින ඉල්ලුම සහ සැපයුම මත බවත්, කෙටි කාලයක් තුළ බිත්තර නිෂ්පාදනය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම අපහසු බවත් අජිත් ගුණසේකර මහතා පැවසීය.
කෙසේ වෙතත්, ඉදිරියේදී බිත්තර මිලෙහි සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත්, එය වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම මත තීරණය වනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
එහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා,
'' උත්සව සමයේ මම හිතන්නේ කුකුල් මස් මිල විශාල වශයෙන් වැඩිවීමක් වෙන්නේ නෑ. රටේ ඉල්ලුමට අවශ්‍ය ප්‍රමාණය කුකුල් මස් තියෙනවා. නමුත් දෙසැම්බර් මාසයේ වැඩි ඉල්ලුමක් එනවා. මම හිතන්නේ ඒ වෙනකොටත් අපේ ශීත කළ කුකුල් මස් තියෙනවා. ඒ නිසා මිල විශාල වශයෙන් වැඩිවීමක් වෙන්නේ නෑ...
බිත්තරවල විශාල ඉල්ලුමක් ආවා. බිත්තර නිෂ්පාදනය අඩාල වුණා. මොකද බඩ ඉරිඟු හිඟවීම නිසා ඒ වෙනුවට හාල් දැම්මේ. හාල් දැම්මම පොඩ්ඩක් නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි වෛරස් රෝග වගයක් හැදිලා තියෙනවා. ඒකෙනුත් නිෂ්පාදනය අඩු වුණා. සාමාන්‍යයෙන් නොවැම්බර් මාසේ අව්ව නැති කාලයක්, වැහි කාලයක් නිසා එතනත් බිත්තර අඩු වුණා.
දැනටත් රුපියල් තිස් නවය, හතළිහට දෙනවා බිත්තරයක්. වෙළඳපොලේ ඉල්ලුම අනුව තමයි මිල තීරණය වෙන්නේ. කොහොමත් ඉදිරියේදී නිෂ්පාදනය වැඩි කරගන්න බෑ. මොකද සාමාන්‍යයෙන් බිත්තර නිෂ්පාදනය වැඩි කරන්න ටිකක් අමාරුයි. ඉතින් අපි ඉල්ලුවා රජයට මින් ඉදිරියටත් සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය හිඟයකින් තොරව ලබා දෙන්න කියන එක. ඉතින් වෙළඳ ඇමතිතුමා සාකච්ඡා කරලා විසඳුමක් දේවි. බිත්තර කර්මාන්තය ගැන නම් අපිට තාමත් හරියට කියන්න බෑ, මොකද ඉල්ලුම හා සැපයුම තමයි මත මිල තීරණය වෙන්නේ...''
උත්සව සමයේ කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යයි ද?
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.