ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයට ගත් යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 3.6ක් සොයාගෙන තිබේ.

ශ්‍රී ලංකාවට දකුණින් පිහිටි ගැඹුරු මුහුදේදී විදේශීය බුද්ධි සේවාවල සහාය ඇතිව දින දෙකකට පෙර මෙම යාත්‍රාව අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඊයේ (27) එය දික්ඕවිට වරාය වෙත රැගෙන එනු ලැබීය.

නාවික හමුදාව සඳහන් කළේ, එම යාත්‍රාවේ සිටි විදේශීය ජාතිකයන් හත්දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවය.

කිසිදු රටකට අයත් ධජයක් නොමැතිව යාත්‍රා කරමින් තිබූ මෙම යාත්‍රාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබේ.

මේ අතර, 'රටම එකට' ජාතික මෙහෙයුම් මාලාව යටතේ මේ දක්වා රුපියල් බිලියන 116ක් වටිනා මත්ද්‍රව්‍ය නාවික හමුදා භාරයට ගෙන ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

දකුණු මුහුදේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, 'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ මේ වන විට සැකකරුවන් 379 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවය.