මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සහ බීමත්ව රිය පදවන රියදුරන් සොයා සිදුකරනු ලබන පරීක්ෂණ තීව්‍ර කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, මේ පිළිබඳව දිවයින පුරා සිටින සියලුම රථ වාහන නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති බවයි.
දිනපතා සිදුවන මාරක සහ බරපතළ මාර්ග අනතුරු පිළිබඳ විශ්ලේෂණය කිරීමේදී, විෂ මත්ද්‍රව්‍ය භාවිතය, බීමත්ව රිය පැදවීම, අන්තරාකාරී හා අපරික්ෂාකාරී රිය පැදවීම මෙන්ම අධික වෙහෙස ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව හඳුනාගෙන ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම සේනාධීර මහතා වැඩිදුරටත් සඳහන් කළේ විශේෂයෙන්ම ටිපර් රථ, ලොරි රථ, ත්‍රීරෝද රථ සහ මගී බස් රථ රියදුරන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවය.
මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවූ බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් රැසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ගේ රියදුරු බලපත්‍ර අත්හිටුවීමට පියවර ගෙන ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී පැවසීය.
තවද, යම් බස් රථ රියදුරෙකු අධික වේගයෙන්, තරඟකාරී ලෙස, අවිනීත ලෙස හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නේ නම්, ඒ පිළිබඳව 070 47 55 600 යන WhatsApp අංකයට වාහනයේ අංකය පැහැදිලිව පෙනෙන සේ වීඩියෝ පටයක් ලබාදී තොරතුරු දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
එලෙස ලැබෙන තොරතුරු මත පදනම්ව අදාළ පිරිස්වලට එරෙහිව තරාතිරම නොබලා තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවද උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් අවධාරණය කළේය.
එහිදී අදහස් දැක්වූ රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා,
"දෛනිකව සිදුවන මාරක සහ බරපතල රිය අනතුරු සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීමේදී අපිට පෙනී යන ප්‍රධාන කාරණාවක් තමයි මෙම අනතුරුවලට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවීම, බීමත්ව රිය පැදවීම, අන්තරාකාරී අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම සහ අධික වේහෙස කියන කාරණාව.විශේෂයෙන්ම ටිපර් රථ රියැදුරන් සහ දැන් මේ ලොරි රථ පදවන රියැදුරන් සෑහෙන ප්‍රමාණයක් අපිට දැනට තොරතුරු ලැබිලා තියෙනවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ගමන් කරන බවට. ඒ නිසා විශේෂයෙන්ම අපි සියලුම රථවාහන භාර ස්ථානාධිපතිවරුන් දැනුවත් කළා මත්ද්‍රව්‍ය සම්බන්ධ පරීක්ෂණ තීව්‍ර කරන්න කියලා. ඒ එක්කම අපිට බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙනුත් සෑහෙන පැමිණිලි ගණනාවක් තියෙනවා. අපි විශේෂයෙන්ම ඉදිරියේදී බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් ඒ පරීක්ෂණ තීව්‍ර කරනවා. විශේෂයෙන්ම අපි අවධානය යොමු කරනවා ත්‍රීරෝද රථ රියැදුරන්, එතකොට බරවාහන එලවන ටිපර් රථ රියැදුරන්, ලොරි රථ රියැදුරන්, මේ අය විශේෂයෙන් පරීක්ෂා කරන්න අපි කටයුතු කරනවා. අපිට අවශ්‍ය වන්නේ මේ දිනෙන් දින සිදුවන මාරක සහ බරපතල අනතුරු අඩු කරන්න."
"බස් රථ රියැදුරන් බොහෝ පිරිසක් අපි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොසිටිව් වෙලා අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරලා ඒ රියැදුරු බලපත්‍ර අත්හිටුවන්න කටයුතු කරලා තියෙනවා. තවත් බොහෝමයක් කොන්දොස්තරවරුත් මේ තත්වයට පත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම හයිලෙවල් රෝඩ් එකේ, මොරටුව කොළඹ පාර සහ ඒ ගත්තාම අනිත් සියලුම ප්‍රධාන මාර්ගවලත් මේ තත්වය තියෙනවා.ඒක නිසා අද සිදුවන මාරක රිය අනතුරු, බරපතල රිය අනතුරු ගත්තාම විශේෂයෙන්ම අපි නැවත වතාවක් ජනතාවට කියන්න තියෙන පණිවිඩය තමයි, යම්කිසි බස් රථ රියැදුරෙක් අධික වේගයෙන් යනවා නම්, පාර මැද නවත්වනවා නම්, අගයින්ස්ට් කලට් ලයිට් යනවා නම්, අනික් අනෙකුත් වාහනවලට ඉස්සර කරන්න දෙන්නේ නැත්නම්, තරඟයට යනවා නම්, විශේෂයෙන් අපි හඳුන්වා දීපු WhatsApp දුරකථන අංකය වන 070 47 55 600 ට අපිට වහාම වීඩියෝ ගත කරලා අංකය පැහැදිලිව පෙනෙන විදිහට එවන්න. අපි අනිවාර්යයෙන්ම ඇක්ෂන් ගන්නවා.විශේෂයෙන්ම අපි ජනතාවට කියන්නේ එවැනි නොහික්මුණු රියැදුරෙක්, මත්ද්‍රව්‍ය භාවිතා කරලා බවට සැකසහිත රියැදුරෙක්, බීමත්කම සම්බන්ධයෙන් සැකසහිත රියැදුරෙක් අවිනීත ලෙස ප්‍රධාන මාර්ගයේ ගමන් කරනවා නම් අපිට වහාම ඒ සම්බන්ධයෙන් වීඩියෝ ගත කරලා තොරතුරු ලබා දෙන්න. අපි ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන් ක්‍රියාත්මක වන බවට දැනුම් දෙනවා."
මත්ද්‍රව්‍ය හා බීමත්ව රිය පදවන්නන් සොයා පරීක්ෂණ තීව්‍ර කෙරේ
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.