යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
2026 March 16- Page Views : 11
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (16) දින 17ක් ගතවී තිබේ.
------------------------------
10.13am
ඉරාකයේ ජුර්ෆ් අල්-සකර් ප්‍රදේශයේ පිහිටි මූලස්ථානයට එල්ල වූ ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
------------------------------
09.30am
හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කර ගැනීම සඳහා යුද නෞකා එවන ලෙස තමන් රටවල් හතකගෙන් පමණ ඉල්ලා සිටි නමුත්, ඉරාන යුද්ධය හේතුවෙන් තෙල් මිල ඉහළ යමින් පවතින පසුබිමක පවා එම ඉල්ලීම්වලට මෙතෙක් නිශ්චිත එකඟතාවක් ලැබී නොමැති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
-----------------------------
08.50am
හෝමූස් සමුද්‍ර සන්ධිය අසලදී ප්‍රහාරයට ලක්වූ තායිලන්තයට අයත් 'මයුරී නාරී' භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ දිවි ගලවාගත් කාර්ය මණ්ඩලය නැවත බැංකොක් නුවරට පැමිණ ඇත.
මෙම ප්‍රහාරයෙන් පසු නෞකාවේ සේවකයින් තිදෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වූ අතර, ඔවුන් නෞකාවේ එන්ජින් කාමරය තුළ සිරවී සිටින්නට ඇතැයි විශ්වාස කෙරේ.
-----------------------------------
08.45am
ඊශ්‍රායලය සමඟ සබඳතා පවත්වන බවට චෝදනා කරමින් ඉරානය තුළ පුද්ගලයින් 500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
---------------------------------
08.40am
ඊශ්‍රායලය විසින් බේරූට් නුවර දකුණුදිග තදාසන්න ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර දෙකක් එල්ල කර තිබේ.
මෙම ප්‍රහාරවලින් සිදු වූ ජීවිත හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බවද සඳහන්.
-----------------------------------
08.30am
පසුගිය පැය 24 තුළ කුවේට් ගුවන් සීමාවට ඇතුළු වූ ඩ්‍රෝන ප්‍රහාරක යානා දෙකක් සාර්ථකව වළක්වා බිම හෙළීමට කුවේට් ජාතික ආරක්ෂක බළකාය සමත්ව තිබේ.
-----------------------------------
08.15am
ටෙහෙරානයේ ඉන්ධන ගබඩා ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් සහ "පරිසර සංහාරයක්" ලෙස හඳුන්වමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි එම ක්‍රියාව හෙළා දැක තිබේ.
----------------------------------
07.46am
සියලුම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීමේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ.
ගුවන්තොටුපොළ ආසන්නයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයත් සමග ගින්නක් හට ගැනුණු අතර ඒ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියේ මෙම ප්‍රහාරය හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවත් ගින්න මැඩපැවැත්වීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ය.
එමෙන්ම තම ගුවන් ගමන් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීම සඳහා අදාළ ගුවන් සමාගම් සම්බන්ධ කර ගන්නා ලෙස ද සංචාරකයින්ට උපදෙස් ලබා දී ඇත.
--------------------------------
07.36am
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඉරානය විසින් වසා දමා ඇති තීරණාත්මක තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට අමෙරිකානු මිත්‍ර රටවල් සහාය නොදක්වන්නේ නම්, නේටෝ (NATO) සංවිධානය "ඉතා නරක" අනාගතයකට මුහුණ දෙනු ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.
එමෙන්ම අමෙරිකාව මෙතෙක් කල් සිය යුරෝපීය මිත්‍ර රටවල් සමඟ "ඉතා සුහදශීලීව" කටයුතු කළ බව ද එහිදී ඔහු සඳහන් කළේය.
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ කණ්ඩායම් ප්‍රයත්නයක් සඳහා එක්වන ලෙස චීනය, ප්‍රංශය, ජපානය, දකුණු කොරියාව සහ එක්සත් රාජධානියෙන් ඔහු ඉල්ලීමක් සිදු කර දිනකට පසුව මෙම අදහස් දැක්වීම සිදු කර ඇත.
ලෝකයේ කාර්යබහුලම තෙල් නැව් ගමනාගමන මාර්ගය ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය සැලකෙන අතර ගෝලීය තෙල් සැපයුමෙන් දළ වශයෙන් 20%ක් පමණ ප්‍රවාහනය සිදු කරන්නේ ද මෙම මුහුදු තීරය හරහාය.
------------------------------------------
07.24am
ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අවට ප්‍රදේශයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඒ හේතුවෙන් ගින්නක් හටගෙන ඇති අතර එය මැඩපැවැත්වීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එමෙන්ම මේ වන තෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව ද වැඩිදුරටත් සඳහන්.
මෙම ඩ්‍රෝන ප්‍රහාරය ඉන්ධන ටැංකියකට එල්ල වී ඇති බවත්, හටගත් ගින්න පාලනය කිරීම සඳහා සිවිල් ආරක්ෂක කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.
-----------------------------
06.40am
ඉරාන යුද්ධය හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් ප්‍රවාහනයට බාධා එල්ල වීමත් සමඟ යුරෝපය පුරා ඉන්ධන මිල 20% කින් පමණ ඉහළ ගොස් ඇත.
නෙදර්ලන්තය වැනි ඉහළ බදු සහිත රටවල ඩීසල් ලීටරයක මිල මේ වන විට ඇමරිකානු ඩොලර් 3කට ආසන්න වී ඇත.
-------------------------------------
06.10am
ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) සතු අවි ගබඩාවලින් බහුතරයක් තවමත් සුරක්ෂිතව පවතින බවත්, වඩාත් දියුණු ආයුධ අතිරේක සංචිත ලෙස තබාගෙන ඇති බවත් බ්‍රිගේඩියර් ජෙනරාල් අලි මොහොමඩ් නයිනි පවසයි.
---------------------------------------------
06.00am
අමෙරිකානු ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිලී ගිය IRIS Dena නෞකාවේ සිටි ඉරාන නාවිකයන් 84 දෙනාගේ අවමංගල්‍ය උත්සවය එළඹෙන බදාදා ටෙහෙරාන් නුවරදී පැවැත්වීමට නියමිතය.
නාවිකයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා වන උත්සවයක් අඟහරුවාදා රාත්‍රියේ ඉරාන අගනුවර ප්‍රධාන චතුරශ්‍රයන්හිදී පවත්වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේවෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මියගිය නාවිකයන්ගේ දේහයන් පසුගිය සිකුරාදා දිනයේ දී මෙරටින් පිටත් කර යැවූ බවය.
මෙම ප්‍රහාරයෙන් තවත් ඉරාන නාවිකයන් අවමංගල්‍ය 32දෙනෙකු පමණ දිවි ගලවා ගෙන ඇත.
-------------------------
05.30am
ලෙබනනයේ බේරූට් නගරයට එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව, ඉරාන අගනුවර වන ටෙහෙරානය වෙත “පුළුල් ප්‍රහාර මාලාවක්” දියත් කරමින් සිටින බව ඊශ්‍රායල හමුදාව පවසයි.