WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වනිඳුට සහ මෙන්ඩිස්ට උප නායකත්වයේ වගකීම්

2022 December 29- Page Views : 12

ඉන්දීය ක්‍රිකට් සංචාරය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කළේය.

ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය හිමි වූ ක්‍රීඩකයන් 20 දෙනකුගෙන් සමන්විත මේ සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර, වනිඳු හසරංගට සහ කුසල් මෙන්ඩිස්ට උපනායකත්වයේ වගකීම් පැවරී තිබේ.

ශ්‍රී ලංකා පිල ඉන්දියාවේදී විස්සයි20 තරග 3කට සහ එක්දින තරග 3කට සහභාගි වන අතර, මේ සංචාරයේදී තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග විස්සයි20 උප නායකයා ලෙසත්, කඩුලු රකින, ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් එක්දින කණ්ඩායමේ උප නායකයා ලෙසත් නම් කර තිබේ.

පසුගියදා නිමාවට පත් වූ එල්පීඑල් තරගාවලියේ වැඩිම ලකුණුලාභියා මෙන්ම අවසන් තරගයේ වීරයා ද බවට පත් වූ අවිශ්ක ප්‍රනාන්දු සහ තරගාවලියේ වීරයා වූ සධීර සමරවික්‍රම සංචිත දෙකටම කැඳවා තිබීම විශේෂත්වයකි. අවසන් වරට පසුගිය පෙබරවාරි මස ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කළ අවිශ්ක දණහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉන් පසු ජාත්‍යන්තර පිටියෙන් ඉවත්ව සිටි අතර, සධීර අවසන් වරට ක්‍රීඩා කර ඇත්තේ පසුගිය වසරේ ජූලි මස ඉන්දියාවටම එරෙහිවය.

මේ අතර ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගාවලිය අහිමි වූ චාමික කරුණාරත්න යළි සංචිතයට කැඳවා තිබේ. නවක ක්‍රීඩක 23 හැවිරිදි නුවනිඳු ප්‍රනාන්දු එක්දින තරගාවලිය සඳහා පමණක් නම් කර ඇත. ධනංජය ලක්ෂාන්ට සහ අසිත ප්‍රනාන්දුට එක්දින කණ්ඩායමේ ස්ථාන අහිමි වී ඇති අතර, ජ්‍යෙෂ්ඨ පිතිකරුවකු වන දිනේෂ් චන්දිමාල් සංචාරයට තෝරාගෙන නැත.

මේ අතර එක්දින පිටියෙන් තාවකාලික විවේකයක් ගනිමින් ඇෆ්ගනිස්තානයට එරෙහි තරගාවලියෙන් ඉවත් වූ භානුක රාජපක්ෂ සමඟ එල්පීඑල් තරගාවලියේ පන්දුවෙන් දස්කම් දැක්වූ නුවන් තුෂාර විස්සයි20 තරගාවලිය සඳහා පමණක් නම් කිරීම කැපී පෙනේ. දඟපන්දු යවන ජෙෆ්රි වැන්ඩෙසේ එක්දින තරගාවලියට පමණක් එක් වනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම මේ 31 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා ඇමැතිවරයා ඊයේ අනුමැතිය ලබා දුන් අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යෑමේ කටයුතු සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා හෝ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් කිසිදු බාධාවක් හෝ ප්‍රමාදයක් සිදු නොකළ බව ද නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කර තිබිණි.

ඉන්දීය සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය

දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, කුසල් මෙන්ඩිස් (එක්දින උප නායක), චරිත් අසලංක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග (විස්යි20 උප නායක), අශේන් බණ්ඩාර, මහීෂ් තීක්ෂණ, චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මධුෂංක, කසුන් රාජිත, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුෂාන්, ළහිරු කුමාර, භානුක රාජපක්ෂ සහ නුවන් තුෂාර (විස්සයි20 තරග සඳහා පමණි), ජෙෆ්රි වැන්ඩෙසේ සහ නුවනිඳු ප්‍රනාන්දු (එක්දින තරග සඳහා පමණි).