ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා ඇමති එකඟතාවයකට එයි
2023 May 15- Page Views : 65 ක්‍රීඩා ඇමතිවරයා විසින් නව ක්‍රීඩා රෙගුලාසි මාලාවක් හඳුන්වාදෙමින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ක්‍රිකට් ආයතනය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ගොනුකර තිබූ පෙත්සම් අද (15) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමථයකට පත්ව තිබේ.
ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගොනුකර තිබූ පෙත්සම් සලකා බැලූ අවස්ථාවේදී දෙපාර්ශවය මෙලෙස සමථයකට පත්ව තිබේ.
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කරන ලද ක්‍රීඩා රෙගුලාසි අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම පෙත්සම් 3 ගොනුකර තිබුණි.
එම අවස්ථාවේදී පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු අධිකරණය හමුවේ සඳහන් කළේ මෙම කරුණ සම්බන්ධයෙන් සමථයක් ඇති කරගත හැකි බවය.
ක්‍රීඩා ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලද නව රෙගුලාසි ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව ක්‍රියාත්මකවීම අගෝස්තු මස 01 සිට බලපැවැත්වෙන බව එම සමථ කොන්දේසිවල ඇතුළත්.
මේ අතර එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මීට පෙර සැලසුම් කළ පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි මස 20 වැනිදා පවත්වන අතර එය පැරණි ක්‍රීඩා රෙගුලාසි අනුව පැවැත්වෙනු ඇති බවය.
නිලවරණයෙන් පත් වන නව නිලධාරීන්ට පැරණි ක්‍රීඩා රෙගුලාසි අනුව හිමි ධුර කාලය හිමිවන බවත් එම සමථ කොන්දේසි තුළ ඇතුළත්ව ඇත.