දුෂ්මන්ත චමීර ට ඉදිරි තරගත් අහිමි වෙයි
2023 June 29- Page Views : 220
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය අහිමිවී තිබේ.
ඒ, ඔහුගේ ආබාධ තත්ත්වය පුර්ණ වශයෙන් සුව නොවීම හේතුවෙනි.
ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික වටයේ තරග සඳහා දුෂ්මන්ත චමීර එක් නොවූ අතර ඔහුව සුපිරි හයදෙනාගේ වටයේදී නැවත කණ්ඩායමට ඇතුළත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව සූදානමින් සිට තිබුණි.
නමුත්, චමීරගේ ආබාධ තත්ත්වය පූර්ණ වශයෙන් සුව නොවීම හේතුවෙන් ඔහුට සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඉදිරි තරග සඳහාත් සහභාගීවිය නොහැකි බව වාර්තා වෙයි.
ඒ අනුව දුෂ්මන්ත චමීර යළි දිවයිනට පැමිණීමට නියමිත අතර ඒ වෙනුවට මේ වනවිට සිම්බාබ්වේ දේශයට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනාගෙන් අයෙකු ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමට නියමිතය.
සුපිරි හයදෙනාගේ වටයේ ශ්‍රී ලංකා පිල සහභාගී වන පළමු තරගය නෙදර්ලන්තයට එරෙහිව හෙට (30) පැවැත්වීමට නියමිත අතර දෙවන තරගය ජුලි 02 වනදා සිම්බාබ්වේ පිලට එරෙහිවත් තුන්වන තරගය ජුලි 07 වනදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවත් පැවැත්වීමට නියමිතය.