වැස්සට සේදුණු පසමිතුරු සටන අද
2023 September 11- Page Views : 218
වර්ෂාව හේතුවෙන් නතර කෙරුණු ඉන්දු - පාකිස්තාන ආසියානු කුසලාන සුපිරි වටයේ තරගය අද (11) යළි පැවැත්වීමට නියමිතය.
ඒ අනුව ඊයේ (10) දිනයේ දී තරගය නතර කළ අවස්ථාවේ සිට තරගය ඉදිරියට පැවැත්වෙනු ඇත.
කාසියේ වාසිය දිනු පාකිස්තාන කණ්ඩායම පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදුන්නේය.
ඉන්දීය ආරම්භ පිතිකරුවන් වන නායක රෝහිත් ශර්මා සහ ශුබ්මන් ගිල් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදෙමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 121ක් සබඳතාවක් ගොඩනැගුවේය.
එහිදි ශුබ්මන් ගිල් ලකුණු 58ක් සහ රෝහිත් ශර්මා ලකුණු 56ක් ලබාගත්තේය.
කෙසේවෙතත් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 24යි එක් පන්දුවක් තුළ කඩුලු දෙකක් පමණක් බිඳවැටී ලකුණු 147ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණි.
අවස්ථා කිහිපයක දී තරගය යළි ආරම්භ කිරීමට තරග තීරකවරුන් උත්සහ දැරුව ද පැවැති කාලගුණික තත්ත්වය හමුවේ රාත්‍රී 9.00ට පමණ තරගය අතිරේක දිනය දක්වා කල්තැබීමට තීරණය කෙරුණි.
ඒ අනුව අද පස්වරු 3.00ට යළි තරගය ආරම්භ වීමට නියමිතය.