අධිවේගී මාර්ග රාජකාරිවලින් STF ඉවත් කිරීමේ සූදානමක්
2023 December 07- Page Views : 23 අධිවේගී මාර්ගයන්හි රාජකාරියේ නිරත පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් එම සේවාවලින් ඉවත් කරගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
කෙසේ වෙතත් මාර්ග සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ, එවැනි තත්ත්වයක් ඇති වුවහොත් අධිවේගී මාර්ග භාවිත කරන්නන්ගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයකට පත්වනු ඇති බවයි.
මෙරට අධිවේගී මාර්ග පද්ධති ආරම්භ කර මේ වනවිට වසර 12කට අධික කාලයක් ගත වී ඇත.
එම කාලසීමාව තුළ ඒවායේ රාජකාරියේ නිරත පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන්ගෙන් ඉටුවන්නේ මිල කළ නොහැකි සේවාවකි.
අධිවේගී මාර්ගවල ධාවනය වන රථවාහන යම් ආපදාවකට ලක්වන අවස්ථාවකදී පියවර ගත යුතු ආකාරය පිළිබඳ මනා පුහුණුවකින් යුත් විශේෂ කාර්ය බළකා සෙබළුන් ගෙවී ගිය වසර 12ක කාලය තුළ බේරාගත් මිනිස් ජීවිත සංඛ්‍යාවද සියයකට අධිකය.
ඉන් නොනැවතී අධිවේගී මාර්ගවල පිවිසුම්වලදී ඇතැම් රථවාහන පරීක්ෂාවට ලක් කිරීමෙන් රට තුළ අපරාධ මර්දනයට විශේෂ කාර්ය බළකායෙන් ඉටුවන සේවය ද සුළුපටු නොවේ.
මෙවන් පසුබිමක, පාතාලය මර්දනය කිරීමේ රාජකාරි වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් අධිවේගී මාර්ග රාජකාරිවලින් ඉවත් කිරීමට පියවර ගන්නා බව දන්වමින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා ඇති බව වාර්තා වේ.