WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විදේශ රැකියා පෙන්වා මුදල් වංචා කළ තවත් කතක්

2024 June 18- Page Views : 36

මැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ගම්පොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කටාර්, ඩුබායි ඇතුළු මැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසා ගම්පොළ ප්‍රදේශයේ කාන්තාවක් මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියා ලබා නොදුන් බවට කාර්යාංශයට පැමිණිලි 7ක් ලැබී තිබුණු අතර එම පැමිණිලිවලට අනුව මෙම කාන්තාව වංචා කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 40ට අධික වේ.

මෙයට පෙර ද ගම්පොළ පොලීසිය මගින් ඇයට විරුද්ධව අධිකරණයේ නඩු පවරා ඇත.

ගම්පොළ පොලීසියේද සහාය ඇතුව දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ගම්පොළ පොලීසියේ රඳවා ප්‍රශ්න කිරීම් සිදුකරන බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය.

මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බව සැලවීමෙන් පසු මෙම කාන්තාවට මුදල් ලබා දුන් තවත් පුද්ගලයන් ගම්පොළ පොලීසියට පැමිණ පැමිණිලි කර තිබේ.

එම පැමිණිලි සම්බන්ධයෙන් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය ඉදිරියේදී විමර්ශනය කිරීමට නියමිතය.

අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ දින (17) ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දින (18) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රත්වරයා නියෝග කළේය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බඳවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මඟින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටී.