දුම්රිය මාරු කළැයි මගීහු විරෝධයේ
2025 March 09- Page Views : 1187
මහනුවර - කොළඹ පැරණිතම ශීඝ්‍රගාමී නගරාන්තර දුම්රියට යොදවා තිබූ පහසුකම් සහිත දුම්රිය ඉවත්කර අඩු පහසුකම් සහිත හා මන්දගාමී දුම්රියක් යෙදවීමෙන් නියමිත වෙලාවට සේවා සඳහා යාමට නොහැකි බව පවසා ඊට විරෝධය දක්වමින් දුම්රිය මගීහු පිරිසක් දුම්රිය තුළම විරෝධතාවක් පැවැත්වූහ.
මෙම දුම්රිය දිනපතා උදෑසන 6.15 මහනුවරින් කොළඹ බලා ධාවනය වන අතර යළි කොළඹ සිට මහනුවර බලා සවස 3.35 ගමන් අරඹයි.
මේ සඳහා යොදවා තිබූ පහසුකම් සහිත එස් 14 දුම්රිය වෙනත් මාර්ගයකට යොදවා පහසුකම් අඩු S 12 දුම්රිය මෙම දුම්රිය ගමන සඳහා යෙදවීම ගැටලුවක් බව විරෝධතාවයේ නිරත වූ මගීහු පැවසූහ.
පෙර පැවැති දුම්රිය නියමිත වෙලාවට කොළඹට ළඟා වුවත් පහසුකම් අඩු මෙම දුම්රිය කොළඹට ළගාවීමේ දී පැයකට වඩා පමාවන බව විරෝධතාවට එක් වූවෝ පැවසූහ.