අර්චුනාගේ පෙත්සමක් විභාගයට අවසර දෙයි
2025 July 02- Page Views : 26 පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (02) අවසර ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත් පෙත්සමෙන් ඉල්ලා තිබූ පරිදි අර්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ අසුන්ගැනීම ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් මෙම අවස්ථාවේදී නිකුත් නොකරන බවත් විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළා.
මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනුයි මෙම නියෝගය නිකුත් කළේ.
අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ වගඋත්තරකාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේ රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කොට වැඩතහනමට ලක්ව සිටි බැවින් ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට තේරීපත්වීමට සුදුසුකම් නොමැති බවයි.
ඒ අනුව පාර්ලිමේන්තුවේ අසුන්ගැනීම / ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් නීතිමය හිමිකම් නොමැති බවට ඔහු මෙහිදී කරුණු දක්වා තිබුණා.
නමුත් රාමනාදන් මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය මෙහිදී කියා සිටියේ සිය සේවාදායකයා පාර්ලිමේන්තුවට තේරීපත් වන අවස්ථායේදී වැටුප් රහිත වැඩතහනමකට ලක්ව සිටි බැවින් එම අවස්ථාවේදී ඔහු රජයේ සේවකයෙකු ලෙස සැලකිය නොහැකි බවයි.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කෙරුණු කරුණු සලකාබැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩුව විභාගයට ගැනීමට තීරණය කළ අතර පෙත්සම ලබන අගෝස්තු 01 වෙනිදා යළි කැදවීමට නියමිතයි.