සබරගමුව විශ්ව විද්‍යාලයේ සිදුවූ අක්‍රමිකතා සෙවීමට නව කමිටුවක් පත් කෙරේ
2025 July 15- Page Views : 1187
සබරගමුව විශ්ව විද්‍යාලයේ සිදුවූ බව කියන පරිපාලන හා මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා ස්වාධීන විමර්ශන කමිටුවක් පත් කර තිබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා විසින් සබරගමුව විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සාමාජිකයින් 04 දෙනෙකුගෙන් යුත් මෙම කමිටුව පත්කර ඇත.
මෙම කමිටුවේ සභාපති ධුරය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් කේ. මලල්ගොඩ මහතා විසින් දරන අතර රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය ගාමිණී සේනානායක, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ඩබ්.එම්.සී බණ්ඩාර මහතා කමිටු සාමාජිකයින් ලෙසද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහකාර අභ්‍යන්තර විගණක හසන්ති පතිරණ මහත්මිය කැඳවුම්කරු ලෙසද පත්කර තිබේ.
ඉහත සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් මෙම කමිටුව විසින් දින 60ක් තුළ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදීමටද නියමිතව ඇත.