WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගැටුමින් පසු අග්නිදිග සරසවියේ විභාග කල් යයි

2025 July 16- Page Views : 27

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අතර ඊයේ අලුයම ඇති වූ ගැටුමත් සමග අද පැවැත්වීමට නියමිතව තිබූ විභාග කටයුතු කල්දමා තිබෙනවා.

විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළේ, අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන්ට ඊයේ රාත්‍රියේ 08ට පෙර නේවාසිකාගාර වලින් පිටව යන ලෙස දැනුම් දී ඇති බවයි.

මේ අතර, අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් වාර්තාවක් කැඳවා තිබෙනවා.

අදාළ ගැටුම සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පොලිසිය සහ විශ්වවිද්‍යාල බලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබුණා.

මෙම ගැටුමෙන් තුවාලලැබූ එම සරසවියේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන්ගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ගැටුමෙන් සිසුන් 04 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ අතර සිසුන් රෝහල් වෙත රැගෙන යාමට පැමිණි ගිලන් රථ රියදුරාට ද ප්‍රහාරයක් එල්ලවීමෙන් ඔහුද තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාලලැබූවන් අක්කරෙයිපත්තුව මූලික රෝහලට සහ ඔලු‍විල් ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පොලිසිය සදහන් කළේ මීට පෙර සිදුවූ නවක වද සිදුවීමක් මෙම ගැටුමට හේතු වී ඇති බවයි.

අග්නිදිග විශ්වවිද්‍යාලයේ බරපතල අන්දමින් නවක වදය ක්‍රියාත්මක වන බව එහි පළමු වසරේ සිසුන් පිරිසක් පසුගියදා අනාවරණ කළ අතර ඊට අදාළ වීඩියෝ ද ඔවුන් විසින් මුදාහැරියා.

සරසවි මැදුර බෝයිස්විලා ටූ ශිෂ්‍ය නේවාසිකාගාරයට ඇතුළු වූ තුන්වැනි වසරේ සිසුන් කණ්ඩායමක් එහි සිටි පළමු වසරේ සිසුන් පිරිසක් නවක වදයට ලක් කරන ආකාරය එම වීඩියෝවල දැක්වුණා.

ඒ සම්බන්ධයෙන් පසුගියදා සිසුන් 22 දෙනෙකුගේ පන්ති තහනම් කළ අතර ඊට අදාළව ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ සිසුන් 12 දෙනෙකු තවමත් රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

ඊයේ අලු‍යම සිදුවූ ගැටුමට මෙම සිදුවීම මුල් වී ඇති බවට සැකකෙරෙන අතර මෙම සිද්ධියට අදාළව මේ වනතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.