ආනයන අපනයන බලපත්‍ර නිකුත් කිරීමෙන් වැඩි ආදායමක්
2025 July 24- Page Views : 1187
ආනයන හා අපනයන පාලන බලපත්‍ර නිකුත් කිරිම මගින් 2024 වර්ෂයේ රුපියල් බිලියන 3.7ක ආදායමක් ඉපැයීමට ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.
එය 2023 වර්ෂයට සාපේක්ෂව 13%ක වැඩිවීමක් බව 2024 වර්ෂයේ සිය කාර්යය සාධන වාර්තාව එළිදක්වමින් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.
පසුගිය වර්ෂය තුළ ආනයන හා අපනයන බලපත්‍ර 17,010ක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඉන් වැඩිම බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කර ඇත්තේ ජංගම දුරකථන හා සන්නිවේදන උපකරණ හා වෙනත් උපකරණ ආනයනය කිරීම සඳහා බව සඳහන් වේ.
ඊට අමතරව රසායනික ද්‍රව්‍ය, පොහොර, පළිබෝධනාශක, කාර්මික අමුද්‍රව්‍ය ආනයනය සහ අපනයනය සඳහා ද බලපත්‍ර නිකුත් කිරීම පසුගිය වසරේ ඉහළ ගොස් තිබේ.
2024 වර්ෂයේ ජුනි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා බඩ ඉරිගු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා ආනයන බලපත්‍ර ලබාදීමට ද අනුමැතිය ලබා දී ඇති අතර ඒ අනුව එම කාලය තුළ ආනයන බලපත්‍ර 2,222ක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
එය 2023 වර්ෂයට සාපේක්ෂව ඉහළ අගයක් ගන්නා බව ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව පවසයි.
ඊට අමතරව දේශීය පරිභෝජනය සඳහා ලෙලි කජු මෙට්‍රික් ටොන් 15,000ක් ආනයනය කිරිමට බලපත්‍ර ලබා දී ඇති අතර එය ද 2023 වර්ෂයට සාපේක්ෂව වැඩි අගයක් ගෙන තිබේ.
තේ කොළ ආනයනය සඳහා ද පසුගිය වසරේ බලපත්‍ර 687ක් ලබා දී ඇති අතර එය ද 2023 වර්ෂයට සාපේක්ෂව වර්ධනයක් බව ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව සිය කාර්යය සාධන වාර්තාව මගින් පෙන්වා දී ඇත.