Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රගපෑමෙන් ඉවත්වෙලා ගයත්‍රී කරපු දේවල්

|Tue,01 March 2016 10:22 AM|Miscellaneous| Page Views : 42

අලුත් පුවත්
පක්‍ෂයේ ජයග්‍රහණයට කටයුතු නොකරන සංවිධායකයන් ඉවත් කරනවා
නොරොච්චෝලේ යළි වැඩ අරඹයි
 
කලක් රංගනයෙන් දුරස්ව සිටි ගයාත්‍රි ඩයස් අද බොහෝ කාර්ය බහුලවෙලා. ඒ ටෙලිනාට්‍ය රැසකට ම රංගනයෙන් දායක වීමේ හේතුවෙන්. ඊටත් අමතරව රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළද ගයාත්‍රි විශේෂ කාර්යයන් රැසකම නිරතවී සිටිනවා. රූපලාවණ්‍ය ශිල්පිනියන්ගේ කලා කුසලතාවන් එළිදැක්වීමට සංවිධානය කරන රුවැති රැයක් ප්‍රසංගය ඉන් සුවිශේෂයි. ගයාත්‍රිගේ කලා දිවියේ නවතම තොරතුරුත් රුවැති රැයක් ප්‍රසංගය පිළිබඳවත් අප ගයාත්‍රිගෙන් විමසා සිටියා.

ගයාත්‍රි කොහොමද මේ දවස්වල ඔබේ කාලය ගෙවෙන්නේ?

ඇත්තෙන් ම මේ දවස් ටිකේ මම බොහොම කාර්ය බහුල ජීවිතයක් ගෙවන්නේ. ටෙලිනාට්‍ය කීපයකම රූපගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේ ම අපේ සැලෝන් එකේ වැඩත් කරනවා. ඊට අමතරව අපි සංවිධානය කරන රුවැති රැයක් වැඩසටහන අප්‍රේල් මාසෙ 03 වැනිදා නෙළුම් පොකුණ රගහලේදී ඉදිරිපත් කරන්න මේ දිනවල සූදානම් වෙනවා.

මේ දිනවල රූපගත කිරීම්වලට දායකවෙලා ඉන්න ටෙලිනාට්‍ය පිළිබඳව තොරතුරු...?

සුමිත් කුමාර අධ්‍යක්ෂණය කරන ටෙලිනාට්‍යයක රූපගතකිරීම් වලට මම පසුගිය දවස්වල සහභාගි වුණා. ඒක හරිම ලස්සන කතාවක් සහිත ටෙලිනාට්‍යයක්. ඒ වගේ ම සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන ටෙලිනාට්‍ය දෙකකටත් සම්බන්ධ වුණා. වසන්ත මොරගොඩ ගේ ලස්සන නිර්මාණයකත් මම පසුගිය දිනවල රගපෑවා. එවැනි ටෙලිනාට්‍ය 15 ක පමණ මම පසුගිය දිනවල රගපෑවා.

ඔබ කළ ඒ චරිතවල ස්වභාවය එක‍ිනෙකට වෙනස් ද? එක වගේ චරිතද?

ඇත්තෙන් ම මම පසුගිය දවස්වල රගපෑ චරිත විවිධත්වයෙන් යුතු චරිත. ඒ ඇතැම් ටෙලිනාට්‍යවල මම අම්මාගේ චරිතයත් නිරූපණය කළා. හාස්‍යෝත්පාදක චරිතත් නිරූපණය කළා. ඒ රගපෑම් ගැන මම තෘප්තිමත්.

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයින් සම්බන්ධ කරගෙන රුවැති රැයක් වැනි වැඩසටහන් කරන්න හිතුවේ ඇයි?

මීට කලකට පෙර නයනා කුමාරිත් මමත් සාකච්ඡා කළ අදහසක් මේක. රූපලාවණ්‍ය ශිල්පීන් ශිල්පිනියන් කියන්නේ බොහොම සතුටින් ඉන්න පිරිසක්. ඒ වගේ ම ඒය අද සමාජයේ බොහොම ජනප්‍රියයි. ඔවුන්ට බොහෝ දෙනෙක් ආදරෙයි. ඒ වගේ ම බොහොම ජනප්‍රිය දක්ෂ රූපලාවණ්‍ය ශිල්පීන්ට ශිල්පිනියන්ට වෙනත් විවිධ දක්ෂතා තිඛෙනවා.

ඒ දක්ෂතාවයන් සමාජය ඉදිරියට ගෙන ඒමටත්, බොහෝ වෙහෙසෙන ඔවුන්ව සතුට‍ු කිරීමටත් අගය කිරීමටත් තමයි අපි මේ වැඩසටහන කරන්න හිතුවේ. බොහෝ දෙනෙක් මේ වැඩේට උදව් කළා. විශේෂයෙන් ම ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී චාන්දනී බණ්ඩාර මහත්මිය මේ සඳහා විශේෂයෙන් උදව් කරවා.

ඔබ රංගනයෙන් ඉවත්වී සිටි කාලය ගැන ඔබට දුකක් නැතිද?

අවුරුදු 10ක් පමණ මම රංගනයෙන් ඉවත්වෙලා හිටිය තමයි. නමුත් මම ඒ කාලය තුළ වෙන දේවල් ගොඩක් කළා. මගේ දරුවන් හදාවඩා ගන්න වෙහෙසුණා. මගේ රූපලාවණ්‍ය ව්‍යාපාරය දියුණු කරගන්න උත්සාහ ගත්තා. හැබැයි එහිදී මගේ තරුණ කාලේ රංගන කටයුතුවල යෙදෙන්න බැරි වුණා තමයි. නමුත් මම ඒක මගේ ජීවිතේ අඩුවක් හැටියට දකින්නේ නෑ.

නයනාත් ඔබත් ආරම්භ කළ රූපලාවණ්‍ය ව්‍යාපාරය සහ ඒ වැඩසටහන් අද කොතැනද තියෙන්නේ?

අපේ රටේ කාන්තාවන් සහ පිරිමින් යන දෙපිරිස ම තමන්ගේ රූපලාවණ්‍ය පිළිබඳව හිතනවා හරිම අඩුයි. නමුත් එන්න එන්න ඒ පිළිබඳව තියෙන උනන්දුව වැඩි වේගන එනවා. වර්තමානය වනවිට ඇතැම් කාන්තාවන් කිසියම් හෝ රූපලාවණ්‍ය කටයුත්තක් ඉගෙන ගෙන ඒක ජීවිතයට සම්බන්ධ කරගන්න උත්සාහ ගන්න බව පේනවා.

නයනාත් මමත් හිතුවේ අපේ රටේ විශේෂයෙන් ම කාන්තාවන්ගේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ දැනුම දියුණු කිරීම මගින් ඔවුන්ගේ පෞරුෂත්වය වර්ධනය කරගන්නේ කෙ‍හොමද කියන එක ඔවුන්ට පහදල දෙන්නයි. ඒ සඳහා අපි දෙන්නා රටේ විවිධ ප්‍රදේශවලට ගිහින් වැඩමුළු පැවැත්වුවා.

අපේ රටේ දුර බැහැර ප්‍රදේශවලට ගියාම අපට මුණ ගැසුණු ඇතැම් කාන්තාවන් වයසින් අපිට වඩා අවුරුදු 10 ක් 12ක් බාල වුණත් ඔවුන් වෙතින් පෙන්නුම් කෙරෙන්නේ අපටත් වඩා අවුරුදු 10කටත් 12කටත් වඩා වයස්ගත බවක්. ඒකට හේතුව තමයි තමන්ව රැකබලා ගන්න ඒ කාන්තාවන් තුළ තිඛෙන නොදැනීම. ඒ සඳහා ඔවුන්ට විවිධ ප්‍රශ්න බලපාලා තියෙනවා. විශේෂයෙන් ම ආර්ථික ප්‍රශ්න. අපි උත්සාහ ගත්තේ මොන ගැටලු තිබුණත් තමන්ගේ පෞද්ගලික පිරිසුදුකම ආරක්ෂා කරගනිමින් ලස්සනට ඉන්නේ කොහොමද කියන එක පහදල දෙන්නයි.

ඔබේ පොඩිදුව රංගනයට එක්වුණු බව ආරංචියි?

ඔව්, චන්නගේ අලුත්ම චිත්‍රපටයේ අපේ චූටි දුව රගපානවා. අපේ දරුවො මීට කලින් රගපාන්න යොමු කළේ නෑ. චූටි දුවගෙ වැඩි කැමැත්තක් තිබුණෙත් නෑ රගපාන්න. බෑ බෑ කියද්දි තමයි එයාව රගපාන්න ගත්තේ. තවම එයාගෙ වයස අවුරුදු 09යි. නමුත් එයා චිත්‍රපටයේ එයාගෙ චරිතය හොඳින් රගපෑවා. මට හරිම සතුටුයි ඒ ගැන.

පසුගිය කාලයේ චන්න කළ දැවැන්ත නිර්මාණවල ඔබ හිටියේ නෑ නේද?

චරිත රගපාන්න ඉල්ලාගෙන යන කෙනෙක් නෙමෙයි මම. චන්න කළ ඒ නිර්මාණවල මට ගැළපෙන චරිත නොතිඛෙන්න ඇති.

රංගනය තුළ මේ වන විට යමක් කළා කියලා ඔබ හිතනවද?

නැහැ, මට දැනෙන චරිතයක් රගපාන්න තවම ලැබ‍ුණේ නැහැ කියලයි මම හිතන්නේ. නමුත් මම රංගන ක්ෂේත්‍රය තුළ මෙතෙක් කළ රංගනයන් ගැන මම තෘප්තිමත් වෙනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න