දිලිත්ගෙන් කාන්තා දිනයට සුබ පැතුම්
2026 March 08- Page Views : 7
කාන්තාවට ඉහළම ගෞවරය ලබා දුන්, ඇය ආරක්ෂා කළ, ඇය බලගැන්වූ අපගේ මහා සංස්කෘතිය වෙනුවෙන් නිර්භීතව හා හෘදයාංගමව පෙනී සිටින බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් දිලිත් ජයවීර මහතා මේ බව පවසා ඇත. - උපුටා ගැනීම - ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබේ. ජාත්‍යන්තරය විසින් එක් සුවිශේෂී කාන්තා දිනයක් වෙන් කර ඇත්තේ, ඉතිහාසය පුරාවටම විවිධ තාඩන පීඩන, නොසලකා හැරීම් වලට ලක් වූ කාන්තාවන්ට යම් සාධාරණයක් ඉටු කිරීමේ අරමුණෙනි. නමුත් බුදු දහමේ ආභාෂයෙන් ගොඩනැගුණු අප ලාංකේය සමාජය ඉන් වෙනස් ය. වචනයෙන් පරිසමාප්ථ අර්ථයෙන්ම මාතෘ මූලික සමාජයක් වූ අප රටෙහි, කාන්තාවන් සැමරීමට සහ ඇයගෙන් ඉටු වන මහා දායකත්වය ඇගයීමට එක් සුවිශේෂී දිනයක් අවශ්‍ය නොවී ය. අප, මිනිසෙකුට ලබා දිය හැකි ඉහළම ගෞරවය වන 'ගෙදර බුදුන්' තනතුර අම්මාට ලබා දුන් ජාතියකි. අප 'දියණියන්' ආරක්ෂා කළ, 'තරුණියන්' බලගැන්වූ සහ 'මව්වරුන්ට' ගෞරව කළ ජාතියකි. අප සමාජය ගොඩ නැගී ඇත්තේම කාන්තාව වටා ය. ඇය විසින් සිදු කරන කාර්යභාරය හුදෙක් නිවසේ ගෘහණියට පමණක් සීමා නොවේ. අප ලොව පළමු අග්‍රාමාත්‍යවරිය බිහිකළ රටයි. එය පසුපස තිබූ චින්තනය වූයේ ද කාන්තාව විශ්වාස කළ, මවට ගෞරව කළ අපගේ මහා සභ්‍යත්ව චින්තනයයි. වර්තමානය වන විට අප කාන්තාව බලගැන්වීම වෙනුවෙන් තව තවත් පෙනී සිටිමු. එය සිදුවිය යුත්තේ කාන්තාව පීඩනයට පත් කරමින්, ඇය නොසලකා හරිමින්, පසුව පව් සමා කර ගැනීම උදෙසා ඈ විකෘති කිරීමට උත්සාහ දරනා ජාත්‍යන්තර සංස්කෘතිය අනුව නොවේ. දිගින් දිගටම කාන්තාවට ඉහළම ගෞරවය ලබා දුන්, ඇය ආරක්ෂා කළ, ඇය බල ගැන්වූ අපගේ මහා සංස්කෘතිය අනුවයි. ඒ උතුම් අරමුණ වෙනුවෙන් අප නිර්භීතව සහ හෘදයාංගමව පෙනී සිටිමු. වසර දහස් ගණනක් තිස්සේ මහා සංස්කෘතියක් පෝෂණය කළ, ලෝකයක් දරා සිටි, අප රටෙහි සහ ඉන් පිටත සියලූම කාන්තාවන්ට සුබ කාන්තා දිනයක් ප්‍රාර්ථනා කරමි. පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර නායක,