LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට
2026 July 18- Page Views : 3
6 වැනි ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (17) පැවති පළමු තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කර ලකුණු 36ක විශිෂ්ට ජයක් ලැබීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් විය.
කොළඹ SSC ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරගයක් ලෙස පැවති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 213ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළේය.
එහිදී ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 38කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 65ක් රැස් කිරීමට සමත් විය.
මීට අමතරව ඕස්ට්‍රේලියානු ක්‍රීඩක සෑම් හාපර් පන්දු 19කින් වේගවත් ලකුණු 40ක් (4x8,6x1) සිය කණ්ඩායම් ලකුණු පුවරුවට එක් කළේය.
නායක දසුන් ශානක පන්දු 12කදී ලකුණු 31ක් 4x2,6x3) සහ සහන් ආරච්චිගේ ලකුණු 35ක් (4x7) ලබාගනිමින් පන්දුවට පහරදීමෙන් දක්ෂතා දැක්වූහ.
ලකුණු 214ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 19.4කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 177ක් පමණි.
ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ (ලකුණු 40) සහ අවිශ්ක ප්‍රනාන්දු (ලකුණු 34) සැලකිය යුතු දක්ෂතාවක් දැක්වූවද, සෙසු පිතිකරුවන්ට තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට හැකි ස්ථාවර ඉනිමක් ගොඩනැගීමට නොහැකි විය.
මෙම තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් හිටපු ඉන්දීය ක්‍රීඩක පියුෂ් චව්ලා සහ හිටපු දකුණු අප්‍රිකානු මෙන්ම වත්මන් නැමීබියානු ක්‍රීඩක ඩේවිඩ් වීස් ඇතුළු විදෙස් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ක්‍රීඩා කළහ.