ජැෆ්නා කිංග්ස් තවමත් පළමු තැන.
Thu, 16 December 2021- Page Views : 0 results
එල්.පී.එල්. විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ නියමිත තරග 20ක් අතුරින් 16ක් අවසානයේ මුල් කණ්ඩායම් හතර අතර ස්ථානයක් තහවුරු කරගත් පළමු කණ්ඩායම බවට පත්වීමට ඉකුත් ශූර ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.
ඔවුන් මෙම අවස්ථාව උදාකරගනු ලැබුවේ සහභාගි වූ තරග 6කින් පහක් ජයගෙන ප්‍රසාද ලකුණු 10ක් හිමිකර ගනිමිනි. ජැෆ්නා කණ්ඩායම මෙවර තරගාවලිය යටතේ පරාජය වූයේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම හමුවේ පමණි.
කණ්ඩායම් අතර දෙවැනි හා තෙවැනි ස්ථානයන්ට පත්ව සිටින ගෝල් ග්ලැඩියේටර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් යන කණ්ඩායම් දෙකම සහභාගි වූ තරග 7කින් තරග 3 බැගින් ජයගෙන (කණ්ඩායම් දෙක අතර එක් තරගයක් වර්ෂාව හේතුවෙන් තරගයක් අතහැර තිබිණි). කණ්ඩායම් දෙකම ප්‍රසාද ලකුණු 7 බැගින් රැස්කරගෙන සිටියද එහිදී ශුද්ධ ලකුණු වේගය මත ගෝල් කණ්ඩායම දෙවැනි තැනට පත් විය.
සහභාගි වූ තරග 6කින් තුනක් ජයගෙන සිටින කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට හිමිව ඇත්තේ සිව්වැනි ස්ථානයය. මෙවර මුල් කණ්ඩායම් හතර අතරට පිවිසීමේ යම් අවදානම් තත්ත්වයකට මුහුණ පා සිටින කැන්ඩි වොරියර්ස් සහභාගි වූ තරග 6කින් ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි.
මේ වන විට වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවන් ලැයිස්තුවේ අංක එක ස්ථානය දඹුල්ල ජයන්ට්ස් පිලේ පිල් සෝල්ට්ට හිමිව තිබේ.
තරග 7කට සහභාගි වී ඇති සෝල්ට් අර්ධ ශතක දෙකක් සමගින් රැස්කරගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 244කි. එම දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් තරග 6කදී ලකුණු 225ක් රැස්කරගෙන සිටින කලම්බු ස්ටාර්ස් පිලේ දිනේෂ් චන්දිමාල්ට සහ තරග 7කදී ලකුණු 194ක් රැස්කරගෙන සිටින ගෝල් ග්ලැඩියේටර්ස්හි කුසල් මෙන්ඩිස් රැඳී සිටී.
මෙවර තරගාවලියේ පන්දු යවන්නන් ලැයිස්තුවේ මේ වන විට සිව්කොන් සටනක් නිර්මාණය වී තිබේ. තරග 7කදී කඩුලු 13ක් දවාගෙන සිටින සමිත් පටෙල් එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවන අතර තරග 6කදී කඩුලු 11ක් ලබා සිටින මහීෂ් තීක්ෂණ, තරග 7කදී කඩුලු 11ක් ලබා සිටින ඉම්රාන් තහීර් සහ තරග 6කදී කඩුලු 11ක් දවාගෙන සිටින දුෂ්මන්ත චමීර දෙවැනි තෙවැනි සහ සිව්වැනි ස්ථානයන්හි පසුවේ.