WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දඹුල්ල පිළේ දුර්වල පන්දු රැකීම හමුවේ ජැෆ්නා කණ්ඩායම LPL අවසන් සටනට

Wed, 22 December 2021|- Page Views : 0 results

අවිශ්ක ප්‍රනාන්දු වාර්තා කළ සිය මංගල 20 යි 20 ශතකය හේතුවෙන් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගයෙන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම ලකුණු 23 කින් පරදා තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණාය.

තරගය ජය ගැනීම සදහා කිංග්ස් කණ්ඩායමෙන් ලද ලකුණු 211 ක ඉලක්කය හඹා ගිය ජයන්ට්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 187ක් පමණයි.

හුදෙකලා සටනක නිරත වූ චාමික කරුණාරත්න සිය මංගල 20 යි 20 අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 47 කින් නොදැවී ලකුණු 75 ක් ලබා ගත්තා. පිල් සෝල්ට් ලකුණු 22ක් සහ නජිබුල්ලාහ් සඩ්රාන් ලකුණු 21ක් රැස් කළා. පන්දු යැවීමේ දී ජෙයිඩ්න් සීල්ස් කඩුලු 3 ක් දවා ගත් අතර, මහීෂ් තීක්ෂණ හා තිසර පෙරේරා කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුණාය.

ඊයේ පැවැති තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළාය. ඒ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ දී පරාජයට පත් වූ තරග 3 ම දෙවනුවට පන්දුවට පහර දී පරාජයට පත්ව සිටි පසුබිමක් තුළයි.

ඒ අනුව හම්බන්තොට පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 210ක් ලබා ගත්තේ කඩුලු 4ක් දැවී සිටියදීයි. එය මෙවර තරග වාරයේ දී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වේ.

කිංග්ස් ඉනිමේ පළමු කඩුල්ල සදහා අවිශ්ක ප්‍රනාන්දු හා රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 122ක සබදතාවයක් ගොඩ නැගූ අතර, එය එල්.පී.එල් තරග ඉතිහාසයේ පළමු කඩුල්ල සදහා වාර්තා වූ හොදම සබදතාවය වීම ද විශේෂත්වයෙකි.

ගුර්බාර් පන්දු 40කින් වේගවත් ලකුණු 70ක් ලබා ගත්තාය. ඒ, හයේ පහර 4ක් හා හතරේ පහර 5ක් සමගින්ය. එල්.පී.එල් ඉතිහාසයේ පිතිකරුවෙකු වාර්තා කළ දෙවැනි ශතකය වාර්තා කරමින් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 64කින් ලකුණු 100ක් ලබා ගත්තාය. හයේ පහර 4කින් හා හතරේ පහර 10කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණාය. පන්දු යැවීමේ දී ළහිරු සමරකෝන් ලකුණු 30කට කඩුලු 2ක් දවා ගත්තාය.

දඹුල්ල කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක් දුර්වල පන්දු රැකීමක නිරත වීම ද දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ පරාජයට බෙහෙවින් බලපානු ලැබුවාය. ඊයේ තරගයෙන් ලැබූ ජයත් සමග ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවර එල්.පී.එල් තරගාවලියේ අවසන් තරගයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමගින් හෙට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී තරග වැදීමට නියමිතයි.

පසුගිය වසරේ පැවැති එල්.පී.එල් තරගාවලියේ ද අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ එම කණ්ඩායම් දෙකම වීම විශේෂත්වයකි.