ශ්‍රී ලංකාව නව වසරේ පළමු එක්දින ජය ලබයි
Mon, 17 January 2022|- Page Views : 0 results
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පල්ලෙකැළේ ක්‍රීඩාංගනයේ පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟය කඬුලු 05 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණාය.
තරඟයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඬුලු 09 ක් දැවී ලකුණු 296 ක් රැස් කළාය. එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ෂේන් විලියම්ස් සිය පස්වන ශතකය වාර්තා කිරීමට සමත් වුණාය. ඔහු ශතකය වාර්තා කළේ පන්දු 87 ක් තුළදීයි. ඔහුගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර 09 ක් ඇතුළත් වුණාය.
රෙජිස් චකබ්වා ලකුණු 72 යි. පන්දු යැවීමේදී චාමික කරුණාරත්න කඬුලු 03 ක් දවා ගත්තාය. නුවන් ප්‍රදීප් සහ ජෙෆ්රි වැන්ඩසේ අතර කඬුලු 02 බැඟින් බෙදී ගියාය. කමිදු මෙන්ඩිස් ද සිම්බාබ්වේ කණ්ඩායමේ එක් කඬුල්ලක් දවා ගත්තාය.
ලකුණු 297 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ්‍රි ලංකා කණ්ඩායම පන්දු වාර 48 යි පන්දු 03 ක් අවසානයේ සිය ජයග්‍රහණය වාර්තා කළාය. කඩුලු 05 ක් පමණක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම එම ඉලක්කය පසු කර ගියේ ලකුණු 300 ක් ලබා ගනිමිනි.
දිනේෂ් චන්දිමාල් සහ පැතුම් නිෂ්ශංක ලකුණු 75 බැගින් රැස් කිරීම විශේෂත්වයකි. චරිත් අසලංක දැවී ගියේ ලකුණු 71 ක් ලබා සිටියදීයි. පන්දු 68 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර 06 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණාය.
තරඟ තහනමකට ලක්වීමෙන් අනතුරුව පළමු තරඟයට ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් රැස් කළේ ලකුණු 26 ක් පමණයි. නොදැවී පන්දුවට පහර දුන් නායක දසුන් ශානක ලකුණු 10 ක් සහ චාමික කරුණාරත්න ලකුණු 05 ක් රැස් කළාය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ සහභාගී වූ පළමු එක්දින ක්‍රිකට් තරඟය ජයගත්තාය. සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය හෙට පල්ලෙකැළේදී ආරම්භවීමට නියමිතයි.