WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අඩි විස්සේ තාප්පෙන් පනින්න ගියේ විනාඩි තුනයි

Tue, October 11, 2022- Page Views : 0 results

‘පොලිසියෙන් අල්ලපු දවසේම හිරෙන් පනිනවා කියලා හිතාගෙනයි මම ගෙදරට ආවේ. මට හිරගෙදර අඩි විස්සේ තාප්පෙන් පනින්න ගියේ විනාඩි තුනයි. ටරට්වල ඉන්න අය ගාව තුවක්කු තියෙනවා කියලා දැනගෙන හිටියා නම් කවදාවත් හිරෙන් පනින්නේ නැහැ.’ යැයි වැලිකඩ හිරගෙදරින් පැන දින විසිදෙකකට පසු හිරගෙදරදීම හමු වූ ස්පයිඩර් මෑන්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සිරකරුවකු බන්ධනාගර නිලධාරින් හමුවේ ප්‍රකාශ කර තිබේ.

35 හැවිරිදි සුරංග දිනේෂ් නමැති මෙම සිරකරු මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවකට වරදකරු වී දෙමසක සිරදඬුවමක් නියම වී තිබුණි. වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටි මෙම පුද්ගලයා සැප්තැම්බර් 15 වැනිදා සිට හිරගෙදරින් අතුරුදන් වී තිබූ අතර බන්ධනාගාර නිලධාරින් දින 3ක් තිස්සේ හිරගෙදරම පීරා බැලුවද ඔහු සොයා ගැනීමට නොහැකි වී තිබිණි.

අනතුරුව ඔක්තෝබර් 7 වැනිදා ඔහු නැවත වරක් වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදී බන්ධනාගාර නිලධාරීන්ට හමුවී තිබේ. ඒ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවකට යළිදු වරක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුවය.

එහිදී මෙම පුද්ගලයා තමා හිරගෙදරින් පැන ගිය ආකාරය බන්ධනාගාර නිලධාරීන්ට හෙළිකර තිබේ. ඔහු පවසන පරිදි ඔහුට වැලිකඩ හිරගෙදර අඩි 20 ක පමණ උසැති තාප්පයෙන් පැනීමට ගත වී ඇත්තේ විනාඩි තුනකි.

නැවත වරක් මෙම සැකකරු හිරගෙදරට පැමිණි විට ‘මූ හින්දා තමයි අපිටත් ගුටි කන්න වුණේ. මූ තමයි වැලිකඩින් පැනලා ගිය එකා’ කියමින් හිරගෙදර සිටි සිරකරුවන් විසින්ම අල්ලා දීමෙන් පසුව මොහු දින විසිදෙකකට පෙර හිරෙන් පැනගිය පුද්ගලයා බව තහවුරු වී ඇත.

මුල්වරට ඔහු මත්ද්‍රව්‍ය චෝදනාවකට රැගෙනවිත් තිබුණත් වරදකරු වීමෙන් පසු වැලිකඩ හිරගෙදරට රැගෙනවිත් තිබුණේ සැප්තැම්බර් 16 වැනිදාය.

එදින රාත්‍රි 8.00ට පමණ සිරමැදිරි වෙත යොමුකිරීමට සිරකරුවන් හැත්තෑවක් පමණ පෝලිම්ගත කරන අතරේ එම පිරිස අතුරින් පසුපසට බල්ටි ගසමින් අඳුරේම එතැනින් පැනගෙන ඇත. මොහු පසුපසට එක දිගට බල්ටි හයක් ගැසීමට හැකියාව ඇත්තෙකි.

එතැනින් කර්මාන්ත අංශය දෙසින් ගොස් අඩි 20ක් උසැති තාප්පයෙන් පැනගෙන ඇත.

තමන් අට්ටාල දෙකක් අතරින් වූ කොටසේ තාප්පය දිගේ අත් තබමින් විනාඩි තුනෙන් ඉහළට නැගගත් අයුරු සුරංග බන්ධනාගාර නිලධාරීන්ට සජීවීව පෙන්වා ඇත. කිසිම ආධාරකයක් නැතිව මකුළුවකු විලාසයෙන් තාප්පය දිගේ ඉහළට ගොස් තාප්පයෙන් බන්ධනාගාර මූලස්ථානය දෙසට ඔහු පැනගොස් ඇත්තේ විදුලි කණුවල ඇති රැහැන් ඔස්සේය. එම රැහැන් ඔස්සේ බන්ධනාගාර නිලධාරීන්ගේ බැරැක්ක දෙසට පැමිණ අනතුරුව බන්ධනාගාර මූලස්ථානයේ තාප්පයෙන් පැන පිටව ගොස් ඇත.

රාත්‍රි 8.00ට පමණ තාප්පයෙන් පැනගත් තමාට හිරගෙදරින් නික්මෙන්නට ගියේ විනාඩි පහළොවකට අඩු කාලයක් බවද සුරංග හෙළිකරයි.

වැලිකඩ බන්ධනාගාර ඉතිහාසයේ සිරකරුවකු මේ අයුරින් පැනගොස් ඇත්තේ පළමුවරට බව නිලධාරීහු පෙන්වා දෙති.

වැලිකඩ දීර්ඝ කාලීනව සිරදඬුවම් විඳින සිරකරුවන් දෙදහසක් පමණ පිරිසට වැලිකඩ හිරගෙදර තාප්ප හොඳට හුරුපුරුදු වුවත් මෙම සිරකරු තාප්පයෙන් පැන ගිය ස්ථානය ඔවුන් පවා නොදැන සිටි බව සඳහන්ය. එම ස්ථානය ක්ෂණිකව දැන ඔහු හිරෙන් පැන ඇත්තේ තමා සතු සුවිශේෂී දක්ෂතාවයෙන් බව බන්ධනාගාර නිලධාරීහු සැකකරති. මෙම පුද්ගලයා පොල් ගස් නැගීම රැකියාව වශයෙන් කළ අයෙකි.

පවුලේ අය මොහුට වරින් වර ත්‍රිරෝද රථ පහක් පමණ රැගෙන දී ඇතත් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූ නිසා ඒ සියල්ල විකිණීමෙන් ජීවත්වීමට වෙන ක්‍රමයක් නැතිව ගස් ගෙඩි කඩන රස්සාවට හුරු වී තිබේ.

බන්ධනාගාර තාප්ප හතරකොනේ අට්ටාලවල ඉන්න අය ළඟ තුවක්කු තියෙනවා කියලා දන්නවා නම් මම කවදාවත් පනින්නේ නැහැ. මාව මාසයකට බරපතළ වැඩ සහිතව අච්චු කළා කිව්වම මම බය වුණා. ආයේ හිරෙන් එළියට යන්න බැරි වෙයි කියල හිතුණා. මම කවදාවත් වැලිකඩ ඇවිල්ලා නැහැ. ඒ නිසා ක්ෂණිකව මම තාප්පයෙන් එතැනින් පනින්න පුළුවන් කියලා හිතාගෙන හිරෙන් පැන්නා’ යැයි සුරංග නිලධාරීන්ට පවසා තිබේ.

වැඩිදුර විමර්ශන සඳහා මෙම සැකකරු වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ‘අරුණ’ කළ විමසුමකදී පැවැසීය.