ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරග දෙක අද
Thu, September 20, 2022- Page Views : 0 results
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් තරග දෙක අද පැවැත්වේ. පළමු තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතරයි.
නෙදර්ලන්තය මේවනවිට තමන් සහභාගී වූ තරග දෙකම ජයගනිමින් ඒ කාණ්ඩයේ පෙරමුණේ පසුවනු ඇත. එක් තරගයක් පමණක් ජයගත් ශ්‍රී ලංකාව එම කාණ්ඩයේ පසුවන්නේ තුන්වන ස්ථානයේයි. ශ්‍රී ලංකාව පරාජය කළ නැමීබියාව ඉහළ දළ ලකුණු වේගයක් සමග මේවනවිට ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ දෙවන ස්ථානයේ පැවසුවේය.
ශ්‍රී ලංකාව අද තරගය ජයගතහොත් ඔවුන්ට ඒ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට හැකිවේ. ඒ, දළ ලකුණු වේගය අනුව එම කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති ඉහළ ප්‍රවණතාව හේතුවෙනි. එසේවුවහොත් අවදානමට පත්වන්නේ නෙදර්ලන්ත කණ්ඩායමයි.
යම් හෙයකින් ශ්‍රී ලංකාව අද තරගය පරාජයට පත්වුවහොත් අද පස්වරුවේ පැවැත්වෙන නැමීබියා - එක්සත් අරාබි එමීර් කණ්ඩායම් අතර තරගයේ ප්‍රතිඵලය දෙස බලාසිටීමට සිදුවනු ඇත. එම තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ජයග්‍රහණය කර, නැමීබියා කණ්ඩායමේ දළ ලකුණු වේගය ශ්‍රී ලංකාවට වඩා අඩුවුවහොත් ශ්‍රී ලංකාවට සුපිරි 12දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට හැකිවේ.
යම්හෙයකින් අද පෙරවරුවේ තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වී පස්වරුවේ තරගයෙන් නැමීබියා කණ්ඩායම ජයගතහොත් නෙදර්ලන්තය සහ නැමීබියාව සුපිරි 12දෙනාගේ වටයට පිවිසෙනු ඇත.
යම්හෙයකින් අද තරගයෙන් ශ්‍රී ලංකාව හමුවේ නෙදර්ලන්තය පරාජයට පත්වී එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කිරීමට නැමීබියාවට හැකිවුවහොත් ශ්‍රී ලංකාව සහ නැමීබියාව සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබයි. පස්වරුවේ තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් නැමීබියාව පරාජයට පත් කළහොත් බොහෝදුරට නැමීබියාවට ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදුවේ. එහිදී ශ්‍රී ලංකාව හමුවේ නෙදර්ලන්තය පරාජයට පත්වුවද එම කණ්ඩායම් දෙකට සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට හැකිවේ.
ඒ අනුව ශ්‍රී ලංකාවට පහසුවෙන්ම ඉදිරි වටයට සුදුසුකම් ලැබීමට නම් අද තරගයේදී නෙදර්ලන්තය පරාජය කළ යුතුයි. එහිදී දළ ලකුණු වේගය අනුව ඒ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ද ශ්‍රී ලංකාවට හැකිවේ.
ශ්‍රී ලංකා නෙදර්ලන්ත තීරණාත්මක තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 9යි 30ට ආරම්භ වනවා. මීට පෙර නෙදර්ලන්තය ලෝක කුසලාන ක්‍රිකට් පිටියේදී හමු වූ අවස්ථා දෙකේදී ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කර තිබේ. 2014දී ලකුණු 39කට නෙදර්ලන්ත කණ්ඩායම සීමා කරන ශ්‍රී ලංකාව 2021 දී නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 44කට සීමා කර ඇත.