දරුවාට තරවටු කළ දොසට පියෙකු, ගුරුවරයෙකුට අමානුෂික ලෙස පහරදෙයි
2022-11-23 17:13:01- Page Views : 9
යාපනයේ ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබනා සිසුවෙකුගේ පියෙකු එම පාසලේ ගුරුවරයෙකුට පහරදීමේ පුවතක් වාර්තා වනවා.
මෙම පුද්ගලයා ගුරුවරයාට පහර දී ඇත්තේ සිය දරුවාට තරවටු කිරීම හේතුවෙන් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
දරුවා පාසලේ ඉගැන්වීමේ කාලච්ඡේදයක් පටන් ගැනීමට පෙර වැසිකිළිය සඳහා ගොස් ඇති අතර, යළි පන්ති කාමරයට පැමිණීමට දරුවා ප්‍රමාද වීම හේතුවෙන් පාසලේ ක්‍රීඩා හා විනය භාර ගුරුවරයා දරුවාට තරවටු කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් උරණ වූ දරුවාගේ පියා පාසලට පැමිණ ගුරු විවේකාගාරයට ගොස් අදාළ ගුරුවරයාට බැණ වැදී පසුව පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
එම පුද්ගලයාගේ පහරදීම් හමුවේ බරපතළ තුවාල ලැබූ ගුරුවරයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ගුරුවරුන්ගේ මැදිහත් වීමෙන් පහරකෑම් ලැබූ ගුරුවරයා බේරාගෙන ඇති බවත් ආරංචි මාර්ග තහවුරු කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පාසල් පරිපාලනය විසින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට ද පැමිණිලි කර ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් සැකකාර පියා අත් අඩංගුවට ගැනීමට මේ වනවිටත් යාපනය පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.
නමුත් සැකකාර තැනැත්තා නිවෙසින් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.