දෑස් නොපෙනුණත් රාගධාරි සංගීතයෙන් ලංකාවෙන්ම පළමුවැනියා වූ හිමාෂා - O/Lවලටත් A නවයක්
2022-11-28 14:54:48- Page Views : 8
උපතින්ම දෑස් නොපෙනුණත්, මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සියලුම විෂයන් සඳහා A සාමාර්ථ 09ක් ලබාගත් දක්ෂ දියණියක් පිළිබඳව අපට වාර්තා විය.
ඇය කුරුණෑගල හිමාෂා කාවින්ද්‍යා හේරත් නම් සිසුවියයි.
උපතින්ම දෙනෙත් නොපෙනුණත් ඇය සැබෑම දක්‍ෂ දැරියක් බව ගුරුවරු පවසති.
සිය සැබෑ දක්‍ෂතාව පහේ ශිෂ්‍යත්වයෙන් පිළිබිඹු කළ ඇය තවත් වසර පහක් ගතවන විට මෙවර සාමාන්‍ය පෙළ (2021) විභාගයේ විෂයයන් නවයටම A සාමාර්ථ 09 ක් ලබාගෙන තම ප්‍රතිභාව රටටම පසක් කර ඇත.
විවිධ බාධක හමුවේ සාමාන්‍ය පෙළ ජයගත් තවත් දරුවන්ද සිටිය හැකි වූවත් අපගේ අවධානය යොමුවූ විශේෂතම කාරණය වූයේ ඇය අන්ධ දැරියක් වීමය.
A සාමාර්ථ 09 ක් ලබාගෙන විද්‍යා විෂය ධාරාව හදාරා වෛද්‍යවරියක් වීමේ සිහිනය ඇයට ඇතත් මෙරට අධ්‍යාපන ක්‍රමයෙන් එවැනි තැනකට යෑමට පහසුකම් නොමැති නිසා ඇය කලා විෂයයන් හදාරා නීතිය හැදෑරීමට අදහස් කරගෙන සිටින්නීය.
හිමාෂා කාවින්ද්‍යාගේ උපන්ගම අනුරාධපුරයයි.
ඇයගේ මුල්ම පාසල වූයේ කුරුණෑගල සඳකඩ විශේෂ පාසලය. එම පාසලෙන් 2016 වසරේදී ශිෂ්‍යත්වය විභාගයෙන් ලකුණු 173 ක් ලබාගත් කාවින්ද්‍යා උසස් අධ්‍යාපනය සඳහා කුරුණෑගල මහින්ද විද්‍යාලයට ආවාය. සිය ජයග්‍රහණය පිළිබඳව කාවින්ද්‍යා මෙසේ පැවැසුවාය.
“මම සඳකඩ විශේෂ පාසලේදී ශිෂ්‍යත්වය සමත්වෙලා කුරුණෑගල මහින්ද විද්‍යාලයට ආවා. මම හැමදාම පන්තියේ පළමුවැනියා වුණා. ගුරුවරුන් කියල දෙන දේ මම නිතරම තනියෙන් කරන්න කටයුතු කළා. මම අධ්‍යාපනයට අමතරව සංගීතයත් හැදෑරුවා. මම තමයි 2017 වසරේ රාගධාරි සංගීතයෙන් ලංකාවෙන්ම පළමුවැනියා වුණේ. මම A 09 ක් ලබාගෙන විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන්න ආසයි. නමුත් අපේ පහසුකම් නොමැති නිසා කලා අංශයෙන් ඉගෙන ගෙන නීතිය හදාරන්න තමයි අදහස් කරගෙන ඉන්නේ. මගේ ජයග්‍රහණයට අපේ ගෙදර වගේම පාසලේ ආචාර්ය මණ්ඩලයේ විශාල සහයෝගයක් ලබාදුන්නා. මම ඒ සියලුම දෙනාට ස්තුතිය පළ කරනවා".
හිමාෂා කාවින්ද්‍යා සිසුවියට වැඩිමහල් සොහොයුරෙකු සිටින අතර ඔහු මලියදේව ආදර්ශ විදුහලේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරයි.
පියා අනුර හේරත් වන අතර මව කුරුණෑගල මහින්ද විද්‍යාලයේම විද්‍යා ගුරුවරියක් ලෙස සේවය කරන්නීය.