බොර තෙල් මිලේ වෙනසක්
2024 March 04- Page Views : 8 දිනකට බොර බැරල් මිලියන 2.2ක ස්වෙච්ඡා, නිෂ්පාදන කප්පාදුවක් සඳහා ඔපෙක් ප්ලස් සාමාජික රටවල් එකඟවීමත් සමග ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාමක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මේ වසරේ දෙවැනි කාර්තුව දක්වා එම නිෂ්පාදන කප්පාදුව ක්‍රියාත්මක කරන්න ඔපෙක් ප්ලස් සාමාජිකයන් එකඟ වී තිබේ.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83යි ශත 83 දක්වා ඉහළ ගොස් තිබූ අතර අමෙරිකානුු WTI බොර තෙල් බැරලයක මිල සටහන් වී ඇත්තේ ඩොලර් 80යි ශත 17ක් ලෙසිනි.
ගෝලීය වෙළෙඳපොළේ තෙල් සැපයුම ඉහළයාම සහ ලෝක ආර්ථිකයේ මන්දගාමී බව හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ යාමේ ප්‍රවණතාවක් පසුගිය කාලයේදී දක්නට ලැබුණි.
එහෙත් මේ නව නිෂ්පාදන කප්පාදුව නිසා තෙල් මිල ඉහළ මට්ටමක පවතින බවට වෙළෙඳපොළ විශ්ලේෂකයන් පුරෝකථනය කරයි.
ඔපෙක් ප්ලස් කණ්ඩායමේ විශාලතම නිෂ්පාදන කප්පාදුවට සුදානම් වී ඉන්නේ රුසියාව බව වාර්තා වෙයි.
රුසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇලෙක්සෙන්ඩර් නොවැක් ප්‍රකාශ කරන්නේ මේ වසරේ දෙවැනි කාර්තුවේදී රුසියාව දිනකට අතිරේක තෙල් බැරල් 471,000 බැගින් කප්පාදු කිරීමට සුදානම් බවයි.
ඔපෙක් ප්ලස් සංවිධානය ගැන පැහැදිලි කළොත් එය ඔපෙක් සංවිධානයේ සහ ඔපෙක් නොවන රටවල් අතර සන්ධානයක් ලෙස හැඳින්විය හැකියි.
1960 දශකයේ ආරම්භ කළ ඔපෙක් සංවිධානයේ ප්‍රධානතම නිෂ්පාදකයා වන්නේ දිනකට බොර තෙල් බැරල් මිලියන 10.4ක් පමණ නිෂ්පාදනය කරන සෞදි අරාබිය.
ඔපෙක් නොවන රටවල් 10ක් ඔපෙක් සංවිධානය සමග ගෝලීය බොර තෙල් වෙළෙඳාමේදී සහයෝගයෙන් කටයුතු කරන අතර ඒ දිනකට බොර තෙල් බැරල් මිලියන 10.3ක් පමණ නිෂ්පාදනය කරන රුසියාවේ ප්‍රධානත්වයෙනි.
ඊශ්‍රායල - හමාස් යුද්ධය සහ යේමනයේ හූති කැරලිකරුවන් රතු මුහුදේ නෞකාවලට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ඇති වී ඇති භූ-දේශපාලනික උණුසුම මත 2024 වසරේදී ලෝක වෙළෙඳපොළේ තෙල්මිල ඉහළ මට්ටමක පවත්වා ගැනීමට සහායක් ලැබී තිබේ.
එහෙත් ලෝක ආර්ථික වර්ධනය මන්දගාමී වීම තෙල් මිලට ද බලපා ඇති බව ආර්ථික විශේෂඥයින් පවසයි.
ඒ ලෝක ආර්ථික ක්‍රියාකාරකම් අඩුවන විට බොර තෙල් සඳහා ඉල්ලුම පහළයාම හේතුවෙනි.