WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලෙබනනයට දිගින් දිගටම ප්‍රහාර

2024 September 20- Page Views : 28

ලෙබනනයේ බීරූට් ඇතුළු නගර රැසකින් හිස්බුල්ලා සටන්කාමීන් භාවිතකරන පේජර් සහ වෝකි ටෝකි යන්ත්‍ර පුපුරායාම් වාර්තා වූ අතර, එම පිපිරුම් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවයට චෝදනා එල්ල වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ මෙම පිපිරුම් මාලාවෙන් 37 දෙනෙකු මියගොස් 3,000කට ආසන්න පිරිසක් තුවාල ලැබූ බවය.

මෙවන් පසුබිමක හිස්බුල්ලා නායක හසාන් නසරල්ලා පිපිරුම් මාලාවෙන් පසුව පළමු වරට ඊයේ (19) සිය ජනතාව ඇමතීය.

එහිදී හෙතෙම අවධාරණය කර සිටියේ, ඊශ්‍රායලය සියලුම සීමා කඩකළ බවය. මෙලෙස රැහැන් රහිත සන්නිවේදන යන්ත්‍ර පුපුරායාම යුද ප්‍රකාශ කිරීමකට සමාන බවට ඔහු චෝදනා කළේය.

මෙම පිපිරුම් මාලාව අනපේක්ෂිත ප්‍රහාරයක් බවට පිළිගත් හිස්බුල්ලා නායකයා, ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලයට නිසැකව ප්‍රතිවිපාක විඳීමට සිදුවන බවද අවධාරණය කළේය.

කෙසේ වෙතත් හිස්බුල්ලා නායකයාගේ ප්‍රකාශය අතරතුරදී ද ඊශ්‍රායල යුද ගුවන්යානා බීරුට් ගුවනේ පියාසර කරන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය.

එමෙන්ම ඔහුගේ ප්‍රකාශයෙන් පසුව ඊයේ රාත්‍රියේ දී ද ඊශ්‍රායලය ලෙබනනයේ රොකට් ප්‍රහාරක අවි ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර සිය ගණනක් එල්ල කර ඇත.

ඊශ්‍රායලය පවසන්නේ එම රොකට් ප්‍රහාරක අවි ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් කර පැවති බවය.

හිස්බුල්ලා සංවිධානයේ ත්‍රස්ත හැකියාව අඩපණ කිරීම සිය අරමුණ වූ බව ඊශ්‍රායලය වැඩිදුරටත් පවසයි.