බොලියාවේ හමුදා කඳවුරක් අවි ගත් කණ්ඩායමක් යටතට
2024 November 03- Page Views : 8 සන්නද්ධ කණ්ඩායමක් මධ්‍යම බොලිවියාවේ හමුදා කඳවුරක් යටත්කර ගනිමින් හමුදා සාමාජිකයන් 200 දෙනකු ප්‍රාණ ඇපයට ගෙන ඇතැයි බොලිවියානු හමුදාව ප්‍රකාශ කළේය.
මීට පෙර මෙම සන්නද්ධ කණ්ඩායම බොලිවියාවේ ක්‍රියාත්මකවී නොමැති බවත් හමුදා කඳවුරේ පාලනය අතට ගැනීමෙන් පසුව එහි තිබූ ගිනි අවි හා පතොරම් පැහැර ගෙන ඇති බවත් හමුදා සාමාජිකයන් 200 කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන ඇති බවත් බොලිවියානු හමුදාව පැවැසුවේය.
බොලිවියානු ජනාධිපති ලුවිස් අර්සේ චෝදනා කර ඇත්තේ මෙම සන්නද්ධ කණ්ඩායම හිටපු ජනාධිපති එවෝ මොරාලෙස්ට සම්බන්ධ එකක් බවයි. නමුත් එම චෝදනාව ඔප්පු කිරීම සඳහා කිසිදු සාක්ෂියක් ජනාධිපතිවරයා ඉදිරිපත් කර නැත.
හමුදා කඳවුරක් යටත් කර ගැනීම යනු දේශද්‍රෝහී ක්‍රියාවක් බැවින් වහාම සාමකාමීව හමුදා කඳවුරෙන් ඉවත්වන ලෙස බොලිවියානු හමුදාව සන්නද්ධ කණ්ඩායමට දැනුම් දීමක්ද සිදුකර තිබිණි.
ලබන වසරේ බොලිවියාවේ පැවැත්වෙන මහමැතිවරණය හේතුවෙන් හිටපු ජනපතිවරයා සහ වත්මන් ජනපතිවරයා අතර ඇතිව තිබෙන උණුසුම් අර්බුදකාරී තත්වයේ නවතම ප්‍රවණතාව ලෙස දේශපාලන විශ්ලේෂකයෝ මෙම සිදුවීම හඳුන්වති.
පසුගිය සති වලදී හිටපු ජනපති මොරාලෙස්ගේ ආධාරකරුවන් බොලිවියාවේ ප්‍රධාන මාර්ගවල මාර්ග බාධක දමමින් පොදු දේපළ වලට හානි කරමින් කලහකාරී ලෙස හැසිරුණු අවස්ථාද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.