බංගලදේශය ඉන්දියාවෙන් කළ ඉල්ලීම විසිවෙයි
2024 November 04- Page Views : 8 අදානි බලශක්ති සමාගමේ අවසන් නිවේදනයත් සමග අනිද්දා (07) ට පසුව බංග්ලාදේශය විශාල බලශක්ති අර්බුදයකට තල්ලු විය හැකි බැවින් එයට මැදිහත් වන ලෙස බංග්ලාදේශ රජය ඉන්දියාවෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බංග්ලාදේශයට ඉන්දීය සමාගම් තුනක් විදුලිය අපනයනය කරන අතර එම සමාගම් තමන්ට අයවිය යුතු හිඟ මුදල් අය කර ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරමින් සිටී. සයිල් එනර්ජි ඉන්දියා, පී.ටී.සී ඉන්දියා සහ අදානි පවර් ජකාන්ද් යන සමාගම් බංග්ලාදේශයට විදුලිය අපනයනය කරයි.
විදුලිය බලය සැපයීම වෙනුවෙන් අයවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 846 ක හිඟ මුදල ගෙවීම අනිද්දා(07) ට පෙර ගෙවා අවසන් කර ලැබීමට තිබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 170ක ණයවර ලිපි ලබාදීමට කටයුතු නොකළහොත් බංග්ලාදේශයට සපයන විදුලිය බලය සම්පූර්ණයෙන්ම නවතා දමන බව අදානි පවර් ජකාන්ද් සමාගම බංග්ලාදේශ රජයට දැනුම්දී ඇත.
බංග්ලාදේශයට අවසන් දිනයට පෙර හිඟ මුදල් ගෙවීමට හැකියාවක් නොමැති බවත් ඒ හේතුවෙන් අදානි බලශක්ති සමාගම විදුලිය සැපයීම නවතා දැමුවහොත් බංග්ලාදේශයට විශාල බලශක්ති අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි පැවැසෙයි.
ගෙවීමට ඇති හිඟ මුදල් පසුගිය 31 වැනිදාට පෙර ගෙවා අවසන් නොකොළහොත් ගිවිසුම් ප්‍රකාරව විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව පසුගිය 27 වැනිදා අදානි බලශක්ති සමාගම ලිපියක් මගින් බංග්ලාදේශ බලශක්ති සංවර්ධන මණ්ඩලයට දැනුම් දුන් අතර ලිපියේ සඳහන්වූ ආකාරයට හිඟ මුදල් ගෙවීමට බංග්ලාදේශය අපොහොසත්වීම නිසා සපයන විදුලිය සියයට 50 කින් කප්පාදු කිරීමට අදානි බලශක්ති සමාගම කටයුතු කළේය.
විදුලිය සියයට 50 කින් කප්පාදු කිරීමෙන් පසුව අයවිය යුතු හිඟ මුදල් ගෙවා අවසන් කිරීමට අදානි සමාගම අනිද්දා(07) දක්වා බංග්ලාදේශයට කල් ලබා දුන් අතර එදිනටත් හිඟ මුදල් නොගෙවූහොත් සපයන විදුලිය සම්පූර්ණයෙන්ම අත්හිටුවන බවට දැනුම් දුන්නේය. විදුලිය සියයට 50 කින් කප්පාදු කිරීමත් සමඟ එක් රාත්‍රියක් තුළ මෙගා වොට් 1600 ක හිඟයක් බංග්ලාදේශ විදුලිබල පද්ධතිය තුළ වාර්තා විය.
අදානි සමාගමට අමතරව සයිල් එනර්ජි ඉන්දියා සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 180 ක හිඟ මුදලක් බංග්ලාදේශය ගෙවීමට ඇති බවත් ඉන් ඩොලර් මිලියන 30 ක් බංග්ලාදේශය ගෙවා ඇති බවත් පැවැසෙයි.