ධීවර ප්‍රජාවට හදිසි ආරක්ෂක නිවේදනයක්
2026 August 01- Page Views : 9
යාපනයේ සිට බේරුවල දක්වා කුඩා යාත්‍රා මුහුදු යාම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ ඇතිවිය හැකි අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව පුරෝකථනය කරමිනි.
දිවයිනට බස්නාහිර දෙසින් රාත්‍රී කාලයේ සිට ඇතිවන වැසි සහිත කාලගුණ තත්ත්වය සහ සුළඟේ වේගය ඉහළ යාම හේතුවෙන්, දිවයින වටා මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර ඇත.
මෙම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා විසින් සමස්ත ධීවර ප්‍රජාව වෙත හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, පුත්තලම, හලාවත, මීගමුව, කොළඹ සහ කළුතර (බේරුවල දක්වා) වන මුහුදු ප්‍රදේශවල වෙරළාසන්නව රැකියාවේ නිරත වන කුඩා සහ එක්දින ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු රැකියාව සඳහා මුහුදු යාමෙන් වළකින ලෙස දැනුම් දී ඇත.
විශේෂයෙන්ම මෙම ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉතා ඉහළ අගයකට පත් විය හැකි අතර, ඒ සමඟ මුහුදු රළ ඉහළ යාම කුඩා යාත්‍රාවලට දැඩි තර්ජනයක් විය හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.
අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මේ වන විටත් මුහුදු ගොස් සිටින කුඩා සහ එක්දින ධීවර යාත්‍රා ඇත්නම් වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂිත ගොඩබිම වෙත පැමිණෙන ලෙසය.
රාත්‍රි කාලයේදී සුළඟේ වේගය තවදුරටත් ඉහළ යා හැකි බැවින් කිසිදු හේතුවක් මත අනවශ්‍ය අවදානමක් නොගන්නා ලෙසත් තමන් කාරුණිකව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.
පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව ධීවර හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු මගින් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, තම ජීවිත හා දේපළ ආරක්ෂාව පිළිබඳව වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.