මියන්මාර සයිබර් කඳවුරු තුළ රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට
2025 March 19- Page Views : 1187
මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය පැවසුවේ මෙම පිරිස අතර තරුණියන් 04 දෙනෙකු සහ තරුණයින් 10 දෙනෙකු සිටින බවය.
මොවුන් මියන්මාරයේ සයිබර් කඳවුරුවලින් මුදා ගෙන දේශසීමාව ඔස්සේ තායිලන්තය වෙත රැගෙන විත් තිබුණි.
මෙම පිරිස තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය විසින් ලබා දී ඇති බව සඳහන්ය.
විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ශ්‍රී ලංකා රජය සිදුකළ අඛණ්ඩ රාජතාන්ත්‍රික ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම මුදාගැනීම් සිදුකිරීමට හැකි වූ බවය.