WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දඹුල්ලට එන දෙස් විදෙස් සංචාරකයන් පහසුකම් නැතිව දුෂ්කරතාවයට

2025 March 25- Page Views : 1187

ඓතිහාසික රංගිරි දඹුලු විහාරස්ථානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්, ප්‍රමාණවත් වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැතිවීම නිසා දැඩි අපහසුතාවට පත්ව සිටී.

  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයක් නොලැබීම හේතුවෙන් සනීපාරාක්ෂක පහසුකම් පුළුල් කිරීමට නොහැකි වී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව 2025 වසරේ ජනවාරි පළමුවැනිදා සිට මාර්තු 20 වැනිදා දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් ගණන 641,961කි.

2025 මාර්තු පළමුවැනිදා සිට 20 වැනිදා දක්වා පමණක් 148,983ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබේ.

මේ වසර තුළ මිලියන 03ක සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට ආකර්ෂණය කරගැනීම රජයේ අපේක්ෂාවයි.

එවන් සංචාරකයන් පිරිසක් මෙරටට ගෙන්වාගැනීම අපේක්ෂාව නම් සංචාරකයන් සඳහා ප්‍රමාණවත් පහසුකම් ද රට තුළ ස්ථාපිත විය යුතුයි.

නමුත් මෙරට බොහෝ සංචාරක ගමනාන්තවල දක්නට ලැබෙන්නේ එවන් තත්ත්වයක් නොවේ.

ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාර සහ විෂ්ණු දේවාලය වැඳපුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් ප්‍රමාණය මේ වන විට දිනෙන් දින ඉහළ යමින් පවතී.

බොහෝ දිනවල එම සංඛ්‍යාව දෙදහස ඉක්මවන බව වාර්තා වෙයි.

නමුත් එම පරිශ්‍රය තුළ අත්‍යවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණත් නොවීම නිසා ඔවුන් පත්වන්නේ දැඩි අපහසුතාවකටයි.

විහාරස්ථ භූමියේ එක් ස්ථානයක නව වැසිකිළියක් ඉදිකර ඇතත්, එය තවමත් පොදු භාවිතය සඳහා ලබාදී නොමැති බව වාර්තා වෙයි.

මේ පිළිබඳ සොයා බලා විසඳුම් ලබාදීම වගකිව යුතු බලධාරීන්ගේ යුතුකමක් සහ වගකීමක් නොවන්නේද?

මේ අතර රුපියල් කෝටි හැටකට ආසන්න මුදලක් වැයකරමින් ඉදිකිරීම් ඇරඹූ හබරණ සංචාරක තොරතුරු කේන්ද්‍රය බලධාරීන්ගේ නිද්‍රාශීලී පිළිවෙත් නිසා මේ වනවිට විනාශයට පත්වෙමින් තිබේ.

2017 දී ඉදිකිරීම් ඇරඹි මෙහි 2018 වන විට වැඩ අවසන් කිරීමට නියමිතව පැවතියත් අදටත් එහි පවතින්නේ මෙවන් තත්ත්වයකි.

ජනතා බදු මුදල් මෙලෙස අපතේ යාමට වගකිවයුත්තේ කවුද?

විදෙස් සංචාරකයින් මිලියන 03ක් මෙරටට ගෙන්වාගැනීම රජයේ අපේක්ෂාව නම් මෙම අඩුපාඩු වහාම සකස්කරගනිමින් සංචාරකයන්ට පහසුකම් සැලසීම කඩිනම් කළයුතු වනු ඇත.