ඉෂාරා සොයා අනුරපුරට ගිය විමර්ශකයින්ට මත්කුඩු හමුවෙයි
2025 April 02- Page Views : 1187
ගණේමුල්ල සංජීව නැමැත්තා ඝාතනයට සම්බන්ධ වී මේ වනවිට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව අනුරාධපුර නගරයේ හෝටලයක සිටින බවට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.
එහිදී ඇයගේ රුවට බොහෙවින් සමාන කාන්තාවක් සමඟ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලීසිය පැවසීය.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බව පොලිස් මූලස්ථානය පැවසීය.
පසුගිය පෙබරවාරි මස 19 වනදා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ දී සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා වෙඩි තබා ඝාතනය කළේය.
මෙම වෙඩි තැබීම සිදුකරන ලද වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් ප්‍රධාන සැකකාරිය වන්නේ පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමති වයස අවුරුදු 25 ක් වන කාන්තාවකි.
වෙඩි තැබීම සිදුකළ දිනයේ සිට මේ වන තෙක් ඇය සැඟව සිටින ස්ථානය සම්බන්ධයෙන් නිසි තොරතුරක් නොමැති බැවින් සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 12 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.
තොරතුරු ලබා දිය හැකි දුරකතන අංක -
අධ්‍යක්ෂ,කොළඹ අපරාධ කොට්ඨාසය - 071-8591727
ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය - 071-8591735
එමෙන්ම තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ඇති බවද දැනුම් දී තිබේ.
එම ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදුකරමින් පවතී.