WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචියට අවසර

2025 April 22- Page Views : 1189

විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

විද්‍යුත් ත්‍රිරෝද රථ නිෂ්පාදනයේදී සහ පෙට්‍රල් හෝ ඩීසල් භාවිතයෙන් ධාවනය කරනු ලබන ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමට හැකි වන අයුරින් පරිවර්තනය කිරීමේදී විද්‍යුත් ආරෝපිත බැටරි භාවිත කිරීම හේතුවෙන් එවැනි ත්‍රිරෝද රථ වල තාර බර ඉහළ යාම සිදු වේ.

එම හේතුව මත එකී ත්‍රිරෝද රථ ලියාපදිංචියේදී මතු වන අර්ථ නිරූපණ ගැටලු නිරාකරණය කිරීම සඳහා ත්‍රිරෝද රථයක උපරිම තාර බර කිලෝග්‍රෑම් 600ක් වන ලෙස මෝටර් වාහන පනතේ අර්ථ නිරූපණය සංශෝධනය කිරීම සඳහා 2022-08-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

එහෙත්, එක් ආරෝපණ තත්ත්වයකදී වඩා වැඩි දුරක් ධාවනය කළ හැකි පරිදි බැටරි පද්ධතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව, වායු සමීකරණ සහිත සුඛෝපභෝගී ත්‍රිරෝද රථ සඳහා වැඩි ධාරිතාවක් සහිත බැටරි පද්ධතියක අවශ්‍යතාව සහ විදුලි ප්‍රතිරෝධක මඟින් ක්‍රියා කරන තිරිංග භාවිතයේදී එකතු වන බර වැනි අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන, විදුලි බලයෙන් ධාවනය කරනු ලබන ත්‍රිරෝද රථයක තාර බර බැටරි පද්ධතියේ බර ද ඇතුළුව කිලෝග්‍රෑම් 650 ක් නොඉක්මවිය යුතු වන පරිදි අර්ථ නිරූපණය නැවත සංශෝධනය කරන ලෙස දේශීය වශයෙන් විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදන හා පරිවර්තන ව්‍යාපාරයේ යෙදී සිටින කර්මාන්ත කරුවන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙතින් ඉල්ලීම් කර තිබේ.

ඒ අනුව, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන යෝජිත සංශෝධනය ඇතුළත් කරමින් මෝටර් වාහන පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.